ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ජාත්‍යන්තර මංසලකුණක් සනිටුහන් කරන අතරම තාක්ෂණය පාදක කරගත් විප්ලවීය වෙනසක් විදහා පාමින්, Celent Model Insurer Awards 2026 සම්මාන උළෙලේදී පාරිභෝගික අත්දැකීම සඳහා වූ ආදර්ශමත් රක්ෂණ සමාගමක් ලෙස ඇගයීමට පාත්‍රව ඇත.

රක්ෂණ ක්ෂේත්‍රය තුළ ඉහළම පිළිගැනීම හිමිකරගත් ඇගයීම් අතරින් එකක් ලෙස සැලකෙන Celent, මූල්‍ය සේවා ක්ෂේත්‍රය සඳහා වූ ජාත්‍යන්තර පර්යේෂණ හා උපදේශන ආයතනයකි. මෙමඟින් වාර්ෂිකව පවත්වනු ලබන Model Insurer සම්මාන උළෙල හරහා පැහැදිලි ව්‍යාපාරික ඵලදායිතාව, නවෝත්පාදනය, සහ තාක්ෂණ හෝ ක්‍රියාකාරීත්ව විශිෂ්ටතාව විදහා දක්වන කැපීපෙනෙන තාක්ෂණ වැඩසටහන් සඳහා වන රක්ෂණ සේවා කටයුතු ඇගයීමට ලක් කරනු ලබයි.

මෙම ඇගයීම පිරිනමනු ලැබුවේ පාරිභෝගික ජීවනචක්‍රය පුරා අවහිරතා රහිතව, ආරම්භයේ සිට අවසානය දක්වාම ඩිජිටල් අත්දැකීමක් පිරිනමමින් යූනියන් ඇෂුවරන්ස් නිර්මාණය කළ Connected Life නමැති පරිවර්තනීය ප්‍රයත්නය සඳහාය. රක්ෂණ අධ්‍යාපනය, මිලදී ගැනීම, ප්‍රාරක්ෂණය, සේවා සැපයීම, සහ හිමිකම්පෑම් මෙන්ම පාරිභෝගික යහපැවැත්ම සඳහා සහාය වන ඒකාබද්ධ විසඳුම් ඇතුළු අංශ ගණනාවක් එමඟින් ආවරණය වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ වඩාත්ම අංගසම්පූර්ණ ඩිජිටල් ජීවිත රක්ෂණ යෙදවුම වන යූනියන් ඇෂුවරන්ස් Clicklife App ඔස්සේ ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් පාරිභෝගිකයින් ජීවිත රක්ෂණය ලබා ගන්නා, එය කළමනාකරණය කරන, සහ ඒ හා සම්බන්ධව කටයුතු කරන ආකාරයට නව අරුතක් එක් කරමින් වටිනාම සැම දේ සැමදා රැකගැනීමට ඔවුන් සවිබල ගන්වනු ලබයි.

මෙම ප්‍රයත්නය මඟින් හැකි තරම් කඩිනමින් රැකවරණය පිරිනැමීම සඳහා ආරම්භයේදීම කිසිදු භෞතික ලේඛන ක්‍රියාවලියකින් තොරව සහකාර-බැංකුකරණ දත්ත කල්තියා ලබාගැනීම, ඩිජිටල් වෛද්‍ය ප්‍රතිඵල හුවමාරු ප්‍රවේශ මාර්ගයක් සහ ස්වයංක්‍රීය ප්‍රාරක්ෂණ කටයුතු ඒකාබද්ධ කරනු ලබයි. නියෝජිත සහාය සහිත ඩිජිටල් නාලිකා මඟින් සහාය දක්වන පැය 24 පුරා ස්වයං-සේවා පහසුකම් පාරිභෝගිකයින්ට ලැබෙන අතර, සෑම පියවරකදීම තත්‍ය කාලීන ලුහුබැඳීම (Real-time tracking) සමඟින් තත්පර 120කට වඩා අඩු කාලයකදී හිමිකම් ඉදිරිපත් කළ හැකිය. ගනුදෙනු කටයුතුවලින් ඔබ්බට යමින්, පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවිතවලට අවහිරතාවකින් තොරව මූල්‍ය රැකවරණය සැලසීමේ කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් පෝෂණ තත්ත්වයන් පිළිබඳ විමසිලිමත්වීම, ක්‍රියාකාරකම් අධීක්ෂණය, ක්‍රීඩාමය සෞඛ්‍ය අභියෝග, සහ ප්‍රජා සත්කාර වැඩසටහන් සමඟ සම්බන්ධ කළ සෞඛ්‍ය දැනුවත්කරණය ඇතුළු බොහෝ දේ පිරිනැමීම සඳහා AI තාක්ෂණය හරහා ක්‍රියාත්මක වන Clicklife Suwamaga+ නමැති සුවතා ක්‍රමවේදයක්ද මෙම වැඩසටහන මඟින් හඳුන්වා දී ඇත.

රක්ෂණ ඔප්පු ආශ්‍රිත සන්ධිස්ථාන අතර අඛණ්ඩ සම්බන්ධතාවක් පවත්වා ගනිමින්, යෙදවුම් බාගත කරගැනීම් ප්‍රමාණය 100,000 ඉක්මවන අතරම, ස්වයංක්‍රීය ප්‍රාරක්ෂණය සඳහා 69% ක සෘජු සැකසුම් අනුපාතයක් අත්කර ගනිමින්, සහ හිමිකම්පෑම් සැකසුම් ක්‍රියාවලිය 80% කට අධික ප්‍රමාණයකින් අඩුකරමින්, හැසිරවීම් කාලය විනාඩි 25-30 සිට ආසන්න වශයෙන් විනාඩි පහක් දක්වා පහත හෙළීම මඟින් විශාල ඵලදායිතාවක් ලබාදීමට මෙම ප්‍රයත්නය සමත්ව ඇත. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනය තුළ යූනියන් ඇෂුවරන්ස් හි නායකත්වය මෙම කාර්යසාධනය මඟින් යළි තහවුරු වෙයි.

zzModel Insurer සම්මාන මඟින් ඇගයීමට පාත්‍ර කරනු ලබන්නේ රක්ෂණ අත්දැකීම මූලික වශයෙන් පරිවර්තනීය වෙනසකට ලක්කිරීම සඳහා රක්ෂණ සමාගම් විසින් තාක්ෂණය යොදාගන්නා ආකාරයයි,” යැයි පවසන Celent ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක කීත් රේමන්ඩ් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය: “යූනියන් ඇෂුවරන්ස් Connected Life ප්‍රයත්නය ඩිජිටල් පාරිභෝගික අත්දැකීමක් ඔස්සේ ජීවිත රක්ෂණය විප්ලවීය ලෙස පරිවර්තනය කරන ආකාරය පෙන්නුම් කරන සුවිශේෂ උදාහරණයක්.”

සම්මානය පිළිබඳව අදහස් පළකරමින්, යූනියන් ඇෂුවරන්ස් හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මෙසේ පැවසීය: “මේ ඇගයීම දෙවැනි වරටත් හිමිකර ගනිමින්, Celent Model Insurer සම්මානය එක් වරකට වඩා වාර ගණනක් හිමිකර ගත් සුවිශේෂ ජාත්‍යන්තර රක්ෂණ සමාගම් සමූහයක් අතරට එක් වන්නට ලැබීම අප ලැබූ ගෞරවයක්. මෙම ගෝලීය වේදිකාවේ පිළිගැනීමට ලක් වූ එකම ශ්‍රී ලාංකික රක්ෂණකරු ලෙසත්, දැන් දෙවරක් පිළිගැනීමට ලක් වූ එකම රක්ෂණකරු ලෙසත්, මේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වන්නේ ලෝකයේ ඉතාම විශිෂ්ටයින් සමඟ සසඳන විට අපගේ හැකියාවන් සතුව පවතින ශක්තියයි. 2020 වර්ෂයේදී අපගේ මූලික තාක්ෂණය පරිවර්තනය කිරීම සඳහා ප්‍රථම වරට පිළිගැනීමට ලක් වූ අප, දැන් 2026 වර්ෂයේදී පාරිභෝගික අත්දැකීම පරිවර්තනය කිරීම සඳහා පිළිගැනීමට ලක්වීමෙන්, ඩිජිටල් පරිවර්තනයේ සම්පූර්ණ පරාසය පුරා අඛණ්ඩ විශිෂ්ටත්වයක් පෙන්නුම් කර තිබෙනවා. අඛණ්ඩව විශිෂ්ටත්වය ඉහළ නංවා ගැනීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන් අපේ කණ්ඩායමට මගේ ප්‍රසාදය පළකරන අතර, සියලු ශ්‍රී ලාංකිකයින්ට වඩාත් පුළුල්, පහසුවෙන් ලබාගැනීමේ හැකියාව සහිත සහ පාරිභෝගික කේන්ද්‍රීය රක්ෂණ අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන අපේ කැපවීම ඉදිරියට ගෙන යන බව මා යළි අවධාරණය කරනවා.”

යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන තොරතුරු නිලධාරී හර්ෂ සේනානායක අදහස් පළ කළේ මෙසේය: “මේ ඇගයීම විශේෂයෙන් අර්ථවත් වන්නේ යූනියන් ඇෂුවරන්ස් හි ඩිජිටල් ගමන් මාර්ගය නිසායි. වසර පහකට පෙර Celent විසින් ඇගයීමට ලක්කරන ලද අපේ මූලික තාක්ෂණික නවීකරණය මේ ගමන්මඟෙහි කැපීපෙනෙන ප්‍රථම පියවරක්. එතැන් සිට ඒ ඔස්සේ වැඩි වර්ධනය වෙමින්, ප්‍රථම වරට හඳුන්වාදෙන ලද පියවර රැසක් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මඟ වෙනුවෙන් පෙරමුණ ගන්නට අපට හැකි වුණා. AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන Suwamaga+ සුවතා ක්‍රමවේදය ඔස්සේ සම්පූර්ණ පාරිභෝගික ජීවනචක්‍රය ආවරණය කරන මෙරට ප්‍රථම සුවිශේෂ රක්ෂණ යෙදවුම වන Clicklife App, ප්‍රථම වරට ඩිජිටල් ඉදිරිපත්කිරීම් 100%ක් සපිරීම, සහ ප්‍රථම වරට ඉලෙක්ට්‍රොනික වෛද්‍ය සහ පරීක්ෂණාගාර වාර්තා ක්‍රියාත්මක කිරීම ඇතුළු හඳුන්වාදීම් ඒ අතර තිබෙනවා. වසර පහක කාල පරාසයක් තුළ එකිනෙකට වෙනස් විෂය ක්ෂේත්‍ර දෙකක් ජයගැනීමෙන් පිළිබිඹු වෙන්නේ ස්ථාවර ක්‍රියාකාරීත්වයක් සහ පැහැදිලි දීර්ඝ-කාලීන දැක්මක් අප සතුව ඇති බවයි. මෙරටදීම සැලසුම් කරන මේ සියල්ලෙන් විදහා දැක්වෙන්නේ ප්‍රමුඛතම ඩිජිටල් රක්ෂණ සමාගම බවට පත්වීම සඳහා වන අපේ දැක්මයි. පාරිභෝගික අත්දැකීම ඉහළ නංවමින් අපේ පාර්ශ්වකරුවන්ට වැඩි වටිනාකමක් ලබාදීම සඳහා AI තාක්ෂණයේ ඉදිරි ප්‍රවණතා ඔස්සේ අප ඉදිරියට ගමන් කරනවා.”

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 මාර්තු මාසය අවසාන වනවිට රු. බිලියන 40.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 96.2ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

Share on