ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, රට පුරා විහිදී සිටින සිය නියෝජිතායතන නායකයින්ගේ සහභාගිත්වය සහිතව, 2026 වසරේ යූනියන් ඇෂුවරන්ස් නායකත්ව සමුළුව ‘Transform to Triumph’ යන තේමාව යටතේ මීගමුව Grandeeza හිදී පැවැත්වීය. ශ්‍රී ලංකාවේ වඩාත්ම ශක්තිමත් නියෝජිතායතන බෙදාහැරීම් ජාල අතරින් එකක් ගොඩනැඟීමට අඛණ්ඩව කටයුතු කරන අතරම නායකත්ව විශිෂ්ටත්වය සැමරීම, සමාගමෙහි උපායමාර්ගික දිශානතිය පිළිබඳ දැනුම බෙදාගැනීම, සහ කාර්යසාධනය ඉහළ නංවාගැනීමට නායකයින් දිරිගැන්වීම සඳහා වැදගත් වන වේදිකාවක් ලෙස මෙම සමුළුව වැදගත් විය.

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නියෝජිතායතන නායකයින් සඳහා හඳුන්වාදෙන ලද විශාලතම ප්‍රසාද තිළිණ සහ ඇගයීම් වැඩසටහන වන යූනියන් ඇෂුවරන්ස් හි නවතම නායකත්ව ප්‍රසාද තිළිණ සැලසුම දියත් කිරීම මෙම සමුළුවෙහි ප්‍රධාන වශයෙන්ම කැපීපෙනෙන අවස්ථාවක් විය. විශිෂ්ටත්වය තිරසරව පවත්වාගෙන යෑම දිරිගැන්වීම සහ නායකත්ව සංවර්ධනය වේගවත් කිරීම සඳහා සැලසුම් කර ඇති මෙම සැලසුම මඟින් පිළිබිඹු වන්නේ සිය නියෝජිතායතන බලකායට ක්ෂේත්‍ර-ප්‍රමුඛත්ව සහයෝගය, පිළිගැනීම සහ වර්ධන අවස්ථා ලබාදෙමින්, සිය පූර්ණ ශක්‍යතාව ළඟාකර ගැනීමට නායකයින් සවිබල ගැන්වීම උදෙසා සමාගම දක්වන කැපවීමය.

වසරේ මුල් අර්ධය සඳහා විශිෂ්ට ප්‍රතිඵල පිරිනැමූ නියෝජිතායතන නායකයින්ගේ ජයග්‍රහණද මෙම සමුළුවේදී සමරනු ලැබිණි. විශිෂ්ටත්වය හඳුනාගැනීම සහ ඇගයීම මඟින්, සාර්ථකත්වය හිමිකර ගැනීමට සිය නායකයින් සවිබල ගන්වන පරිසරයක් අඛණ්ඩව පවත්වා ගන්නා අතරම ඔවුන්ගේ දීර්ඝ-කාලීන වැඩිදියුණුව සහ සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ සහකරුවකු ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කිරීමටද යූනියන් ඇෂුවරන්ස් කටයුතු කරයි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන නියෝජිතායතන නිලධාරී ඉම්තියාස් අනීෆ් මෙසේ පැවසීය: “පළමුවෙන්ම, වසරේ මුල් භාගය තුළ විශිෂ්ට සාර්ථකත්වය හිමිකර ගනිමින් ශූරයෙක් ලෙස ඇගයීමට ලක් වූ සෑම නායකයෙකුටම මා සුබ පතනවා. ඔබේ කැපවීම, ස්ථාවරත්වය සහ ඔබේ කණ්ඩායම් දිරිගැන්වීමේ හැකියාව අපගේ නියෝජිතායතන බෙදාහැරීම් ජාලය ක්ෂේත්‍රය තුළ ඇති ශක්තිමත්ම ජාල අතරින් එකක් බවට පත් කරන්නට ඉවහල් වී තිබෙනවා. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, ශ්‍රී ලාංකික පවුල් දහස් ගණනක් සඳහා වඩාත්ම වටින සැම දේ සැමදා රැකදෙමින්, විශ්වාසයෙන් යුතුව සිය අනාගතය සුරක්ෂිත කරගැනීමට ඔවුන්ට සහාය ලබාදීම උදෙසා වන අපගේ මෙහෙවර පසුපස සිටින ප්‍රධානතම ශක්තිය ඔබ වීමයි.”

වැඩිදුරටත් අදහස් දක්වමින්, “අප අද ඔබේ ජයග්‍රහණ සමරන අතරම තව තවත් ඉහළ ඉලක්ක හඹා යන ලෙසත් අප ඔබට අභියෝග කරනවා. ක්ෂේත්‍රයේ විශාලතම නායකත්ව ප්‍රසාද තිළිණ සහ ඇගයීම් සැලසුම කියන්නේ අපගේ නායකයින්ගේ ශක්‍යතාව පිළිබඳව අප තුළ ඇති විශ්වාසය සහ ඔවුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය වෙනුවෙන් ආයෝජනය කිරීමට අප දක්වන කැපවීම පිළිබිඹු කරන්නක්. එය සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නියෝජි’තායතන බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිතීන් ඉහළ නැංවීමට අඛණ්ඩව කටයුතු කරන අතරම, විශිෂ්ට කාර්යසාධනය ඇගයීම මෙන්ම ඉහළ අභිලාෂයන්, වඩා ශක්තිමත් නායකත්වය සහ අඛණ්ඩ විශිෂ්ටත්වය පවත්වා ගැනීමද සඳහායි.” යැයිද ඔහු පැවසීය.

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 මාර්තු මාසය අවසාන වනවිට රු. බිලියන 40.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 96.2ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

Share on