ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස් විසින් පසුගියදා සිය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී LIMRA සම්මාන උළෙල පවත්වනු ලැබුවේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එම සම්මාන වැඩසටහනෙහි දැඩි නිර්ණායක සපුරමින් පසුගිය වසරවලදී ඉහළම කාර්යසාධනයක් පළකළ විශිෂ්ට අලෙවි වෘත්තිකයින් ඇගයීමට ලක්කරමිනි.

LIMRA සම්මාන යනු උපදේශකයින් විසින් සිය ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට අඛණ්ඩව පිරිනමනු ලබන අගය මැනගැනීම සඳහා වටිනාකම් ප්‍රමාණවලට අමතරව යොදාගත හැකි නිර්ණායක වන ඵලදායීතාව, රක්ෂණ ඔප්පුවල ගුණාත්මකභාවය, සහ වාරික නොකඩවා පවත්වා ගැනීම වැනි කරුණු මත අලෙවි වෘත්තිකයින් අගයන, ජාත්‍යන්තර වශයෙන් ස්ථාපිත කාර්යරාමුවකි. මෙම වසරේ පවත්වන ලද උළෙලේදී සම්මාන කාණ්ඩ තුනක් යටතේ ජයග්‍රාහකයින්ට ගෞරව ප්‍රණාම පිරිනමනු ලැබිණි. ඵලදායීතාව සඳහා වූ ජාත්‍යන්තර සම්මානය සමඟින් ඉහළම ජයග්‍රාහී මට්ටම ප්ලැටිනම් මඟින් නියෝජනය වන පරිදි රිදී, රන්, සහ ප්ලැටිනම් මට්ටම් හරහා 60කට අධික පිරිසක් ඇගයීමට ලක් කරනු ලැබිණි. වටිනා සැම දේ සැමදා සැබෑ ලෙසම සුරකින ආයතනයක් ලෙස යූනියන් ඇෂුවරන්ස් දරන ස්ථාවරය මෙම ඇගයීම් මඟින් තහවුරු වෙයි.

ඉදිරි කටයුතු සඳහා සූදානම් වෙමින්, යූනියන් ඇෂුවරන්ස් 2026 වසරේ LIMRA සම්මාන හා සම්බන්ධ වැඩකටයුතු මේ වනවිට දියත් කර ඇත්තේ, මෙම ගමන්මඟ පුරා වෘත්තීය වශයෙන් වර්ධනය වන උපදේශකයින්ගේ සිට රැකවරණයේ ඉහළ ප්‍රමිතීන් ඔස්සේ ප්‍රතිලාභ ලබන පාරිභෝගිකයින්, සහ ඔවුන්ගේ සාර්ථකත්වය මඟින් ශක්තිමත් වන ආයතනය දක්වා වූ සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කිරීමට සමාගම දක්වන කැපවීම යළි අවධාරණය කරමිනි. මෙම වැඩ කටයුතුවලදී හැකියාවන් වැඩිදියුණු කිරීම, අවශ්‍යතා මත පදනම් වූ විකුණුම්, සහ පාරිභෝගික-කේන්ද්‍රීය ක්‍රමවේද කෙරෙහි යළි අවධාරණය යොමුකරනු ලබන්නේ තමන් සේවය ලබාදෙන ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා අර්ථවත් ප්‍රතිඵල හිමිකර දෙන අතරම දිගු කාලයක් පවතින විශේෂඥතාව ගොඩනඟා ගනිමින් සිය රැකියා කටයුතු ඉහළ නංවා ගැනීමට උපදේශකයින් සවිබල ගන්වමිනි.

මෙම උත්සව අවස්ථාවේදී අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන නියෝජිතායතන නිලධාරී ඉම්තියාස් අනිෆ් මෙසේ පැවසීය: “අපගේ උපදේශකයින් විශිෂ්ටත්වයට පත් කරන, දැඩි ප්‍රමිතීන් පවත්වා ගන්නට ඔවුන්ට උපකාරී වන වෘත්තීයභාවය සහ විනය LIMRA සම්මාන මඟින් ඇගයීමට පාත්‍ර කරනවා. මේ ගෞරවනීය පිළිගැනීමෙන් පිළිබිඹු වන්නේ අපගේ අලෙවි බලකායේ ශක්තිය සහ ආයතනයක් ලෙස අප පිරිනමන උපදේශකත්වයේ ගුණාත්මකභාවයයි. අද දින ඇගයීමට පාත්‍ර වූ අයට සුබ පැතුම් පිරිනමන අතරම, මේ ජයග්‍රාහී මට්ටම තවදුරටත් ඉහළ නැංවීමට අප නිරතුරුව දැඩි අවධානය යොමු කරනවා. මේ සුවිශේෂ සන්ධිස්ථානය ජයගන්නට අප කණ්ඩායමේ තව තවත් අයට අවස්ථාව ලැබෙන ආකාරයට 2026 වසරේ සැලසුම ක්‍රියාත්මක වන අතර, ඔවුන් පසුපස සිටිමින් අපගේ පූර්ණ සහයෝගයද අප ඔවුන්ට ලබාදෙනවා.”

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 මාර්තු මාසය අවසාන වනවිට රු. බිලියන 40.6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 96.2ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

Share on