අඩු අවධානය – අධික්‍රියාකාරීත්වය නමැති තත්ත්වය සහිත දරුවන් සැලකිය යුතු පිරිසක් අද සමාජයේ ජීවත් වන බව අනාවරණය වී ඇත. පවුල් පසුබිම, පරම්පරාගත ජානමය උරුමය සහ අයහපත් පරිසර සාධක ඇතුළු කායික හා මානසික හේතූන් මත ඇති වන්නේ යැයි සැලකෙන මෙම තත්ත්වය නිසි පරිදි හඳුනාගෙන ප්‍රතිකාර සහ නිසි මඟපෙන්වීම ඔස්සේ පාලනය කරගත හැකිය. මෙම තත්ත්වය සහිත දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට සහාය වීම සහ මඟපෙන්වීම කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් ඉදිරිපත් කරන ‘Circle of Well-being නවතම වැඩසටහනට එක්වෙමින්, විශේෂඥ මනෝවෛද්‍ය (ළමා සහ නව යොවුන්) වෛද්‍ය ස්වර්ණා විජේතුංග විසින් පළ කරන ලද අදහස් පෙළගැස්මකි මේ.
ADHD ලෙස හැඳින්වෙන්නේ කුමක්ද?
ADHD ලෙස හැඳින්වෙන්නේ Attention-deficit Hyperactivity Disorder හෙවත් අඩු අවධානය සහ අධික්‍රියාකාරීත්වය සහිත ආබාධ තත්ත්වයකි. මෙම තත්ත්වය සහිත දරුවන්ගේ හැසිරීම බෙහෙවින්ම ගැටලු සහගතය. දරුවෙකුගේ හැසිරීම සිදුවන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය අනුවය. මොළය වර්ධනය වන විට දරුවාගේ හැසිරීම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමේ හැකියාව දරුවෙකුට ලැබේ. එහෙත් වර්ධනයේදී ඇති වන යම් පසුබෑම් නිසා අඩු අවධානය සහ අධික්‍රියාකාරීත්වය සහිත දරුවන්ට විශේෂ වන ගැටලුකාරී හැසිරීම් තිබේ. එක තැන රැඳී සිටිය නොහැකි තත්ත්වයක් ඔවුන්ගෙන් දැකගත හැකිය. පන්ති කාමරයකදී ඉගෙනුම් කටයුතු කරන විට කියාදෙන දේ අසා සිටිනු වෙනුවට ඔවුන් බොහෝවිට කරන්නේ වෙනත් විවිධ කටයුතුවල යෙදීමය. සාමාන්‍යයෙන් කුඩා දරුවන් ක්‍රියාශීලී වන නමුදු ඔවුන් අධික්‍රියාශීලී හෝ අධික්‍රියාකාරී නැත. එදිනෙදා ජීවිතයේ කටයුතුවලට බාධා වන පරිදි ඔවුන් හැසිරෙන්නේ නම් එහි ගැටලුවක් ඇත. අධික්‍රියාකාරී දරුවන් එක් කටයුත්තක යෙදී සිටින අතරම තවත් විවිධ දේ වෙත අවධානය යොමු කරයි. එසේ වන්නේ ඔවුන්ගේ අවධානය පිළිබඳ ගැටලුවක් නිසා නොවේ. ගැටලුව වන්නේ ඔවුන්ගේ අවධානය විවිධ දේවලට යොමුවීමය. මෙහිදී සිදුවන්නේ අවධානය රඳවාගෙන සිටිය හැකි කාලය අඩුවීමකි. එසේ අවධානය අඩුවීම නිසාම ඔවුන්ට බොහෝ දේ අමතක වන ස්වභාවයක්ද ඇති වෙයි. බොහෝ අවස්ථාවලදී පාසලට රැගෙන යන යමක් ආපසු රැගෙන ඒමට ඔවුන්ට අමතක වෙයි. සැලසුම්කරණය ඔවුන්ට අපහසු වන අතර, එය ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට බලපාන බරපතළ ප්‍රශ්නයක් බවටද පත්වෙයි. ඔවුන් යම් කිසිවක අවදානම වටහා නොගෙන කටයුතු කරන අවස්ථාද දැකිය හැකිය.
මෙය කාලයත් සමඟ ඇති වන තත්ත්වයක්ද? නැතහොත් උපතේ සිටම ඇති වන්නක්ද?
මෙය චර්යාත්මක නොහොත් හැසිරීම පිළිබඳ ප්‍රශ්නයකි. එය හසුරුවනු ලබන්නේ මොළය විසිනි. එබැවින් මෙහිදී මොළයේ ද යම් ගැටලුවක් ඇතැයි සැලකිය හැකිය. මොළය වර්ධනය වන්නේ එක දිශානතියකටය. එනම් මොළය වර්ධනය වන්නේ පියවරෙන් පියවර, ඉදිරියටය. මොළය වර්ධනය වන විට එක අවධියකදී දරුවන්ගේ මොළයේ ඉදිරියෙන්ම ඇති කොටස (Prefrontal Cortex) ආශ්‍රිතව විශේෂ වර්ධනයක් සිදු වේ. අප සතුන්ගෙන් වෙනස් වන්නේ වර්ධනයේ එම කොටස මඟිනි. සිතාමතා වැඩ කිරීම, රසවින්දනය සහ සැලසුම් කිරීම, සංජානනය, බුද්ධි මට්ටම සහ බුද්ධිය මෙහෙයවීම වැනි සියලු දේ පාලනය වන්නේ එම කොටසෙනි. අඩු අවධානය සහ අධික්‍රියාකාරිත්වය සහිත දරුවෙකුගේ මොළයේ මෙම කොටස වර්ධනය වීමේ කිසියම් ප්‍රමාදයක් තිබේ. පුංචිම කාලයේදීත් මෙවැනි දරුවෙකුගේ වෙනස්කම් දැකගත හැකිය. මොළයේ වර්ධනයත් සමඟම සිදු වන නමුත් බොහෝ වෙනස්කම් වඩාත් පැහැදිලිව දැකිය හැකි වන්නේ පසුකාලීනවය. මෙවැනි ඇතැම් දරුවන්ගේ මොළයේ වර්ධනය සම්බන්ධ ගැටලු ඇති නිසාම අසාමාන්‍ය චර්යාවන් කුඩා කල සිටම ඔවුන්ගෙන් දැකගත හැකිය.
මෙම තත්ත්වය ඇති වන්නේ කෙසේද? එය පාලනය කරගත හැකි ක්‍රමයක් තිබේද?
මෙම තත්ත්වය ඇති වන්නේ කෙසේදැයි නිශ්චිත වශයෙන්ම කිව නොහැකිය. එහෙත්, එයට ජානමය ගැටලුවක්ද බලපාන්නේ යැයි සැලකිය හැකිය. එසේම, දරුවා මව් කුස තුළ වැඩෙන කාලයේදී හෝ පසුකාලීනව ඇති වන බාහිර බලපෑමක් හේතුවෙන්ද මෙම තත්ත්වය ඇති විය හැකිය. මව්පියන්ගේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය වැනි හේතු මඟින් දරුවාගේ මොලය වර්ධනය වන කාලයේ ඇති වන ගැටලු සහගත තත්ත්වයන් මෙන්ම පරිසරයේ ඇති විෂ සහිත ද්‍රව්‍ය, ගර්භනී අවධියේදී ඇති වන ලෙඩ රෝග, ආසාදන සහ ප්‍රසූති අවස්ථාවේදී දරුවාගේ හිස සිරවීම වැනි හේතු මෙන්ම, අපස්මාරය සහ එන්කෙපලයිටිස් වැනි රෝග හේතුවෙන් මොළයට ඇති වන බලපෑම නිසාද මෙම තත්ත්වය ඇති විය හැකිය. එබැවින් දරුවා උපත ලැබීමට පෙර මෙන්ම ඊට පසුද දෙමාපියන් මත්ද්‍රව්‍ය පරිභෝජනයෙන් වැළකී, යහපත් මානසික සහ ශාරීරික සුවයෙන් මෙන්ම සතුටෙන් සිටීම සහ නිසි පෝෂණය ලබාගැනීම මඟින් මෙම තත්ත්වය ඇතිවීම බොහෝදුරට පාලනය කරගත හැකි වනු ඇත.
මෙම තත්ත්වය මඟින් ළමාවියේදී මෙන්ම පසුකාලීනවද ජීවිතයට එල්ල විය හැකි බලපෑම් මොනවාද?
මෙවැනි දරුවන් සාමාන්‍ය බුද්ධි මට්ටමකින් යුතුය. මෙම තත්ත්වය තිබිදී පවා නිසි මඟපෙන්වීම සහ ප්‍රතිකාර මඟින් ඔවුන් පසුකාලයකදී දක්ෂයින් බවට පත් වන අවස්ථාද ඇත. ඉහළ බුද්ධි මට්ටමකින් සහ අධික්‍රියාශීලී හැකියාවෙන් යුතු වන මෙවැනි දරුවන් ඉතා ශූර ලෙස ඇතැම් කටයුතු කිරීමටද සමත් වෙයි. එසේම, ඉතා වේගයෙන් සහ කාර්යක්ෂමව වැඩකටයුතු කරන ඔවුන් මත්ද්‍රව්‍ය වෙත යොමුවීමේ වැඩි අවදානමක්ද පවතී. රැකියා කරන වයසට පත් වූ පසු පවා මෙවැනි හැසිරීම් මඟින් තමන් මෙන්ම අන් අයවද අවදානමට ලක් වන පරිදි ඔවුන් කටයුතු කරන අවස්ථා තිබිය හැකිය. මෙවැනි අවස්ථා වළක්වා ගැනීමට කළ යුතු වන්නේ මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමය. මෙවැනි දරුවන්ට නිසි ප්‍රතිකාර සහ මඟපෙන්වීම ලබා නොදීම නිසා ඔවුන්ගෙන් සමාජයට බරපතළ හානි සිදුවිය හැකිය. ඔවුන් බොහෝවිට අවිචාරාත්මක හැසිරීමට සහ සමාජ විරෝධී කටයුතු කිරීමට පවා පෙළඹිය හැකිය.
දරුවන් නව ඩිජිටල් තාක්ෂණික උපාංගවලට අනාවරණය වීම මෙම තත්ත්වයට බලපාන්නේ කුමන ආකාරයටද?
මෙවැනි දරුවන් ඩිජිටල් උපාංගවලට දැඩි කැමැත්තක් දක්වයි. ඔවුන්ට එක දිගට එක් දෙයක් කෙරෙහි අවධානය තබාගෙන සිටිය නොහැකි බැවින්, කාටූන් වැඩසටහනක් නරඹන විට හෝ තාක්ෂණික උපකරණයක් ඔස්සේ යම් ක්‍රීඩාවක නිරත වන විට පවා ඔවුන්ගේ අවධානය ඉතා වේගයෙන් වෙනස් වෙයි. ඩිජිටල් උපාංගවලින් ඔවුන්ගේ අවධානය දිගට රඳවා ගැනීමක් සිදු නොවේ. ඩිජිටල් උපාංගවලින් ADHD තත්ත්වය ඇති නොවන නමදු, එය එවැනි තත්ත්වයක් පාලනය කරගැනීම සඳහා සුදුසු ප්‍රතිකාරයක් නොවේ. එහෙත්, දරුවන්ගේ අවධානය දිගට පවත්වා ගැනීමේ හැකියාව සහිත නව තාක්ෂණ විසඳුම්ද ඇත.
මෙවැනි තත්ත්වයක් සහිත දරුවෙකුට වැඩිවියට පත්ව, සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් වෘත්තීය කටයුතු කරගෙන යා හැකිද?
දරුවෙකුට අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන විට සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය පුරුදු සහ ක්‍රියාකාරකම් නිවැරදිව කියාදීම වැදගත් වන අතර, එය කළ යුත්තේ දෙමාපියන් සහ ගුරුවරුන් වැනි පිරිස් විසිනි. ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ දරුවාව ඒ අයුරින් පුහුණු කිරීම සඳහා අවධානය ලබාගැනීමට පමණි. දරුවන්ට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යෑම සඳහා නිසි මඟපෙන්වීම ලබාදීමෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකිය. කාලයක් පුරා ඒ අයුරින් අඛණ්ඩව මඟපෙන්වීම ලබාදීමෙන් පසු තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නොවිය හැකිය. මෙයින් අදහස් වන්නේ ADHD තත්ත්වය පාලනය කරගැනීම සඳහා ඖෂධවලට වඩා වැදගත් වන්නේ නිසි මඟපෙන්වීම අඛණ්ඩව ලබාදීම වන බවය. එහිදී දෙමාපියන් සහ ගුරුවරුන් වැනි වැඩිහිටියන්ට වැදගත් කාර්යභාරයක් පැවරෙයි. දරුවන්ගේ අවශ්‍යතා වටහා ගනිමින් සහ ඒ කෙරෙහි අවධානය යොමුකිරීමෙන් යහමඟ පෙන්වීමෙන් මෙම තත්ත්වය බොහෝදුරට පාලනය කර ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. කොතරම් කාර්යබහුල වුවද, දරුවන් සමඟ ගුණාත්මක කාලයක් ගතකිරීමට ඔවුන් කටයුතු කිරීම වැදගත්ය.
වැඩිහිටි වයසේදීත් ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යා යුතුද?
ADHD තත්ත්වය වර්ධනයත් සමඟ බොහෝදුරට පාලනය වන නමුත්, අවධානය පවත්වාගෙන යෑමට නොහැකිවීම වැඩිහිටි වයසේදීද පැවතීමට ඉඩ ඇත. එයින් ඔවුන්ගේ වැඩකටයුතුවලට අවහිරතා ඇති විය හැකිය. මෙවැනි පිරිස් සඳහාද ප්‍රතිකාර ඇත. කළ යුතු හොඳම දේ වන්නේ එවැනි ප්‍රතිකාර මඟ නොහැර, වැඩිහිටියන් සඳහා ප්‍රතිකාර ලබාදෙන විශේෂඥ මානසික වෛද්‍යවරු හමුවී උපදෙස් ලබාගැනීමය.