යූනියන් ඇෂුවරන්ස් ඉදිරිපත් කරන Circle of Well-being සාකච්ඡාමය යූටියුබ් වැඩසටහනට පසුගියදා ප්‍රමුඛතම පෝෂණවේදී උපදේශන විශේෂඥයකු සහ ජීවන රටා පිළිබඳ වෛද්‍ය වෘත්තිකයකු වන වෛද්‍ය රායිදා ඩැනියල් සම්බන්ධ කරගනු ලැබිණි. ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා පෝෂණයේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමුකළ මෙම වැඩසටහනේදී රෝග සහ ආසාදන හා සටන් වැදීමට සිරුරේ ඇති හැකියාව ආහාර පුරුදු ඔස්සේ ඉහළ නංවාගත හැකි ආකාරය සම්බන්ධයෙන් වටිනා අදහස් ඉදිරිපත් කෙරිණි. සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයකි මේ.

රෝග සහ ආසාදන සමඟ සටන්කිරීමේදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට පෝෂණයෙන් ඉටුවන කාර්යභාරය කුමක්ද?
සිරුරේ ආරක්ෂක යාන්ත්‍රණය වන, ආසාදන සහ රෝගවලින් අපව ආරක්ෂා කරන හමුදාවක් ලෙස ක්‍රියාකරන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට පෝෂණය ඉතා වැදගත්. ඕනෑම හමුදාවකට වගේම, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් උපරිම මට්ටමෙන් ක්‍රියාකිරීමට මනා පෝෂණය අවශ්‍යයි. පෝෂ්‍ය පදාර්ථ බහුල, සමතුලිත ආහාර වේලක් මඟින් මෙය සපුරා ගත හැකියි.

විටමින් ඒ සහ සී වගේම ප්‍රෝටීන වැනි ඇතැම් පෝෂ්‍ය පදාර්ථ ඌනතාවන් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තැනුම් ඒකක වන්නේ ප්‍රෝටීන. ඒවා නැතිව සිරුරට ශක්තිමත් ආරක්ෂාවක් ලබාගත නොහැකියි. පෝෂණ පුරුදු ක්‍රියාත්මක කරන්න අපි අසනීප වන තුරු බලාගෙන නොසිට කල්තියා කටයුතු කිරීම ඉතා වැදගත් වෙන්නෙ ඒ නිසායි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගන්න අසනීප තත්ත්වයකට කලින් වගේම පසුවත් සමබල ආහාර වේලක් ලබාගත යුතුයි.

ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියකට සමබල ආහාර වේලක් දායක වෙන්නේ කුමන ආකාරයටද?
“සප්ත වර්ණ ආහාර” හෝ “ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, සෞඛ්‍ය සම්පන්න මේද සහිත සමබල ආහාර වේලක්” වගේ වචන ඔබ අහලා ඇති. ඒ වචනවලින් මූලිකවම අදහස් වෙන්නෙ හැම ආහාර වේලකටම ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, සෞඛ්‍ය සම්පන්න මේද සහ එළවළු ඇතුළත් විය යුතු බවයි. ඒ හැම ආහාර කාණ්ඩයකින්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න සුවිශේෂ කාර්යභාරයක් ඉටුවෙනවා. ඒ වගේම, විවිධ වර්ණ සහිත ආහාරවලින් පෝෂ්‍ය පදාර්ථ බහුල සමබල ආහාරයක් ලැබෙනවා.

ප්‍රතිශක්ති සෛල සහ ප්‍රතිදේහ නිෂ්පාදනය කරන්න ප්‍රෝටීන උදව් කරනවා. ආහාර මාර්ගයේ යහපත් සෞඛ්‍ය තත්ත්වය සහ ප්‍රතිශක්තිය ඉහළ නංවන ප්‍රති-ප්‍රදාහ ගුණාංග ඔමෙගා-3 වගේ සෞඛ්‍ය සම්පන්න මේදවල තියෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න විවිධ කාර්යභාරයන් ඉටුකරන විටමින් ඒ, සී, ඩී සහ ඊ වැනි අත්‍යවශ්‍ය විටමින් වර්ග එළවළුවලින් සැපයෙනවා. විටමින් ඒ ශ්ලේෂමල බිත්ති ශක්තිමත් කරන අතර, ආසාදනවලදි ප්‍රතිශක්ති හැකියාව පවත්වා ගන්න විටමින් ඩී වැදගත් වෙනවා. සින්ක්, යකඩ, සහ සෙලේනියම් වැනි ඛනිජ වර්ගත් නිරෝගීමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියකට වැදගත් වන ප්‍රධාන සාධක.

ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර මොනවාද?
ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා බොහෝ අය නිතරම අවධානය යොමුකරන්නේ “සුපිරි ආහාර” එකකට හෝ දෙකකටයි. හැබැයි, වැදගත් වෙන්නෙ විශේෂිත ආහාර කිහිපයක් නෙවෙයි, පෝෂ්‍ය පදාර්ථ බහුල විවිධ ආහාර ලබාගැනීමයි. සාම්ප්‍රදායික බත් සහ ව්‍යාංජන සහිත ශ්‍රී ලාංකික ආහාර වේලක් කියන්නෙ ප්‍රතිශක්තිය වඩවන වඩාත්ම සමබල සහ පෝෂ්‍ය ගුණයෙන් පිරිපුන් ආහාර වේල් අතරින් එකක්.

විටමින් සී තියෙන්නෙ දොඩම් සහ ලෙමන් වගේ සිට්රස් පලතුරුවල කියලා බොහෝ අය හිතුවට, නෙල්ලි වගේම බත් සහ ව්‍යාංජන සහිත ආහාර වේලකට සාමාන්‍යයෙන් ඇතුළත් වන මැල්ලුම්වල තියෙන කොළ වර්ග වැනි තවත් හොඳ විටමින් සී ප්‍රභව අපට තියෙනවා.

ශාකවල නිෂ්පාදනය වන ස්වාභාවික සංයෝග ආහාර වේලට ඇතුළත් කරගැනීමත් වැදගත්. මේ ශාක-ප්‍රභව-පෝෂ්‍ය පදාර්ථ මඟින් බැක්ටීරියා, දිලීර, කෘමීන් වගේම වෛරස් ආසාදනවලින් පවා ශාකවලට ආරක්ෂාව සැලසෙනවා. ශාකමය ආහාර ලබාගන්නකොට සිරුරට අවශෝෂණය කරගන්නා මේ ශාක- ප්‍රභව-පෝෂ්‍ය පදාර්ථ මඟින් ප්‍රදාහයන් අඩුකරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. දේදුන්නේ පාට සහිත විවිධ පලතුරු සහ එළවළුවල මේ ශාක-ප්‍රභව රසායනික ද්‍රව්‍ය හමුවෙනවා. ශාක-ප්‍රභව-පෝෂ්‍ය පදාර්ථවලට උදාහරණ කිහිපයක් හැටියට අපේ ප්‍රධාන අහාර වේලට ඇතුළත් වන ඉඟුරු, සුදුළුුණු සහ කහ වැනි පැළෑටි සහ කුළුබඩු සැලකිය හැකියි.

ආහාර වේලට ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රති-ප්‍රදාහ ආහාර ඇතුළත් කරගැනීමෙනුත් ප්‍රතිශක්තිය ගොඩනගා ගත හැකියි. ප්‍රදාහ තත්ත්වයන් පහත දමන සහ ආහාර මාර්ගය ආශ්‍රිත සෞඛ්‍යය වැඩිදියුණු කරන ඔමෙගා-3 මේද අම්ල හුරුල්ලා, හාල්මැස්සා, සහ සාලයා වැනි පොඩි මාළුවල තියෙනවා. මෙවැනි දේශීය ආහාර ප්‍රතිශක්ති-වර්ධක ගුණාංගවලින් පොහොසත් නිසා සමස්ත සුවතාව සඳහා මේ විවිධ ආහාර පරිභෝජනය වැදගත්

ආහාර මාර්ගය ආශ්‍රිත සෞඛ්‍යය ප්‍රතිශක්තිකරණ පද්ධතියට අදාළ වෙන්නෙ කොහොමද?
ආහාර මාර්ගය ආශ්‍රිත සෞඛ්‍යය සහ ප්‍රතිශක්තිය අතර සමීප අන්තර්-සම්බන්ධතාවක් තියෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් 70%ක් පමණ, විශේෂයෙන්ම අපේ ආහාර මාර්ගයේ ප්‍රතිශක්ති ආරක්ෂාවට අදාළ මූලස්ථානය හැටියට ක්‍රියාකරන ආහාර මාර්ගය ආශ්‍රිත වසා පටකය ලෙස හැඳින්වෙන ප්‍රතිශක්ති පද්ධති කොටස තිබෙන්නේ ආහාර මාර්ගය තුළයි.

ආහාර ජීර්ණ පද්ධතියේ ඇති හිතකර බැක්ටීරියා මඟින් ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියක් පවත්වා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටුකෙරෙනවා. මේ බැක්ටීරියා ප්‍රති-ප්‍රදාහ ගුණාංග සහිත කෙටි-දාම මේද අම්ල නිපදවමින් රුධිර ධාරාවට හානිකර විෂබීජ ඇතුල්වීම වළකනවා.

නිරෝගී ආහාර මාර්ගයක් සඳහා ප්‍රිබයොටික් (ආහාර මාර්ගයේ බැක්ටීරියා සඳහා වන ආහාර) ලෙස ක්‍රියා කරන පලතුරු, එළවළු සහ ධාන්‍ය වර්ග වැනි තන්තුමය ආහාර ලබාගැනීමත් වැදගත්. ආහාර මාර්ගයේ හිතකර බැක්ටීරියා වැඩිකිරීමට මීකිරි සහ යෝගට් වැනි ප්‍රිබයොටික් ආහාර සහාය වෙනවා. ආහාර මාර්ගයේ සෞඛ්‍යය ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෘජුවම බලපාන නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

ප්‍රතිශක්තිය දුර්වල කරන ආහාර පුරුදු හෝ ආහාර වේල් තිබෙනවාද?
ඔව්. අද බහුලව පවතින අධික සීනි භාවිතය මේ සඳහා බලපානවා. ඉහළ සීනි පරිභෝජනය මඟින් ආසාදනවලට එරෙහිව සටන් වැදීමට සුදු රුධිර සෛලවලට ඇති හැකියාව අඩුකරමින් නිධන්ගත ප්‍රදාහයන් ඇති කරනවා. සැකසූ ආහාර අධික, තන්තු අඩු සහ සෞඛ්‍ය සම්පන්න නොවන මේද අධික ආහාරත් ප්‍රදාහයන් ඇතිකරමින් ආසාදන වැළකීමට සිරුරට ඇති හැකියාව දුර්වල කරනවා. මෙවැනි ආහාර මඟින් ස්ථුලතාව ඇති විය හැකියි. අවයව වටා ඇති මේද ඒකරාශී වීමෙන් ඇති වන එම තත්ත්වය මඟින් සිරුර රෝගවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති වෙනවා.

අධික මත්පැන් භාවිතයත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට අහිතකරයි. එයට අමතරව, නිසි පරිදි දියර වර්ග ලබාගැනීමත් වැදගත්. විශේෂයෙන්ම උණුසුම් හා වියළි කාලගුණ තත්ත්වය තුළ එය නොසලකා හැරීම නොකළ යුතුයි. ප්‍රමාණවත් දියර ශරීරගතව තිබීමෙන් විෂබීජවලට එරෙහිව සටන් වදින අපේ ප්‍රථම ආරක්ෂක පවුර වන ශ්වසන සහ ආහාර මාර්ග නාලවල ශ්ලේෂමල පටල නිසි පරිදි පවත්වා ගැනීමට හැකිවෙනවා.

රෝග හා සටන් වැදීමට සිරුරට ඇති හැකියාවට මන්දපෝෂණයෙන් ඇති වන්නේ මොන විදිහෙ බලපෑමක්ද?
එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට තදබල බලපෑම් ඇති වෙනවා. ප්‍රෝටීන-ශක්ති ඌනතාව ඉහළ ප්‍රතිශක්ති මට්ටමකට අත්‍යවශ්‍ය ප්‍රතිශක්ති සෛල නිෂ්පාදනයට, ප්‍රතිදේහ සහ වසා ග්‍රන්ථිවලටත් බලපානවා. මෙමඟින් සිරුර අසාදනවලට ගොදුරුවීමේ අවදානමක් ඇති වන අතරම සුවවීමට ගත වන කාලය දීර්ඝ වෙනවා.

විටමින් ඒ සහ සී වැනි ක්ෂුද්‍ර පෝෂ්‍යපදාර්ථ ඌනතා නිසාත් ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. ආසාදනවලින් ආරක්ෂාව සැලසීමට ආහාර මාර්ගයේ සහ ශ්වසන පද්ධතියේ ශ්ලේෂමල ආවරණවලට විටමින් ඒ ඉතා වැදගත්. මේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හිඟවීමෙන් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වෙමින් සිරුර ආරක්ෂා කිරීමේ හැකියාව අඩුවෙනවා.

නිගමනය:
ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියකට වැදගත් වන්නේ සුපිරි ආහාර එකක් හෝ දෙකක් නොව, සමස්ත ආහාර රටාවයි. පෝෂ්‍ය පදාර්ථ බහුල, විවිධ දේශීය ආහාර සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු හරහා සිරුරේ ස්වාභාවික ආරක්ෂාව සලසා ගත හැකියි.

මෙයින් මූලිකවම කියැවෙන්නේ පෝෂණය යනු රෝග වළක්වා ගැනීම පමණක් නොව, සමස්ත සුවතාව වැඩිදියුණු කරගැනීම බවයි. ඒනිසා, ආහාර රටාවේ සුළු වෙනස්කම් අදම පටන් ගන්න: ඔබේ ආහාරය වඩාත් වර්ණවත් කරගන්න, සැකසූ ආහාර වෙනුවට ස්වාභාවික ආහාර තෝරාගන්නා, දියර වර්ගවලටත් ප්‍රමඛතාව දෙන්න. අද ලබාගන්නා සමබල ආහාරය වඩාත් සුවැති හෙට දවසක පදනම බව මතක තබාගන්න.

Share on