අද ලෝකයේ, අපගේ ජීවිත වේගයෙන් වෙනස් කිරීමට AI තාක්ෂණය අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. මූල්‍ය කටයුතු පාලනයේ සිට මානසික හා කායික වශයෙන් අපගේ පිරිපුන් සුවසෙත සැලසීම දක්වාම එහි බලපෑම විහිදෙයි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමූහයේ OCTAVE හි ප්‍රධාන යන්ත්‍ර අධ්‍යයන ඉංජිනේරු ආචාර්ය සුමනරූබන් රාජදුරෙයි සහභාගි වූ ‘යූනියන් ඇෂුවරන්ස් හි Circle of Well-being’ නවතම වැඩසටහනෙහි මූලික කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙයි. නවතම පර්යේෂණ සහ ප්‍රායෝගික යෙදවුම් පාදක කරගත් සුවිශේෂ දෘෂ්ටිකෝණයක් ඔස්සේ AI මඟින් මූල්‍යමය, මානසික, සහ කායික සුවසෙතට බලපෑමක් ඇති වන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ඔහු මෙම වැඩසටහනේදී කරුණු අනාවරණය කරයි.

AI පිළිබඳ හැඳින්වීම
මිනිස් දැනුම, තර්කනය, සහ චර්යාව අනුකරණයට සැලසුම් කර ඇති යන්ත්‍ර හා පද්ධති AI හෙවත් කෘත්‍රීම බුද්ධිය යනුවෙන් අදහස් වේ. විශාල දත්ත සමූහයන් විශ්ලේෂණයට, ස්වයංක්‍රීයව අධ්‍යයනයට, සාමාන්‍යයෙන් මිනිස් බුද්ධිය අවශ්‍ය වන කටයුතු ඉටුකිරීමට මෙම පද්ධතිවලට හැකිය. මිනිසුන් මෙන්ම ප්‍රතිචාර සහ දැනුම සැපයීමේ හැකියාව ලබාදෙමින්, විශාල දත්ත ප්‍රමාණයක් සැකසිය හැකි AI මාදිලියක් වන ChatGPT මේ සඳහා කදිම උදාහරණයකි. සුවසේවා, වාහන, සිල්ලර අලෙවි සහ බැංකුකරණය වැනි ක්ෂේත්‍රවල භාවිතය වේගයෙන් ඉහළ යමින් පවතින්නේ අප වැඩ කරන, ජීවත් වන, සහ තාක්ෂණයත් සමඟ ගනුදෙනු කරන ආකාරයේ පෙරළියක් ඇති කරමිනි.

අපගේ සුවසෙතට AI මඟින් ඇති වන බලපෑම
මෙම ලිපියෙන් අප විමසන්නේ මූල්‍යමය, මානසික හා කායික වශයෙන් අපගේ සුවසෙත හා සම්බන්ධ විවිධ පැති AI මඟින් වෙනස් කරන්නේ කෙසේදැයි යන්නය.

මූල්‍යමය සුවසෙත
නැණවත් මුදල් කළමනාකරණය, ඉතුරුම් වර්ධනය කරගැනීම සහ දිගුකාලීන මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කරගැනීම මූල්‍යමය සුවසෙතට අයත්ය. කෙසේවුවද, බොහෝ අයගේ මූල්‍ය සාක්ෂරතාව අඩුය. උදාහරණයක් ලෙස, බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව මිලියන 11.5ක පිරිසකට ඉතුරුම් වශයෙන් ඇත්තේ ස්ටර්ලින් පවුම් 100ක් හෝ ඊට අඩු මුදලක් පමණක් වන අතර, මිලියන 22ක පිරිසකට විශ්‍රාම සැලසුම් නැත.

මූල්‍ය දත්ත විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින්, එකිනෙකාට අදහස් සපයමින් සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ උපදෙස් පිරිනමමින් මෙවැනි තත්ත්වයන් සඳහා විසඳුම් ලබාදීමට AI තාක්ෂණයට හැකිය. වඩාත් ඵලදායී ලෙස ඉලක්ක සකසා ගනිමින්, ඉතුරුම් සහ ආයෝජන කිරීමට පාරිභෝගිකයින්ට සහාය වීම සඳහා සිංගප්පූරුවේ DBS වැනි බැංකු AI තාක්ෂණය යොදා ගනියි. මෙම AI මාදිලි උපයෝගී කරගන්නා පාරිභෝගිකයින් 83%කට වඩා වැඩියෙන් ඉතුරුම්, සිව්ගුණයකට වඩා වැඩියෙන් ආයෝජන සහ දෙගුණයක තරම් රක්ෂණ වටිනාකම් හිමිකර ගනිමින්, සිය මූල්‍යමය සුරක්ෂිතතාව ඉහළ නංවා ගනියි.

මානසික සුවසෙත
ලොව පුරා මිලියන 800ක පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින අතර, දකුණු ආසියාව වැනි කලාපවල සියදිවි හානිකර ගැනීම් ප්‍රමාණය ඉතා ඉහළ අගයක පවතී. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ මානසික සුවසේවා නිසි කලට ලබාගැනීමේ හැකියාව සැලසීම ඉතා වැදගත්ය.

සුදුසුකම් සහිත සංජානන චර්යාත්මක චිකිත්සකයින් සොයාගැනීම දුෂ්කර විය හැකි වුවද, විශාදය හෝ සංකාව ආශ්‍රිත හැඟීම් උත්සන්න වන අලුයම 2 වැනි අසාමාන්‍ය වේලාවකදී පවා වහාම ප්‍රතිකාර ලබාගැනීමට ඇතැමුන්ට අවශ්‍ය වනු ඇත. සංවර්ධිත රටවල පවා ප්‍රතිකාර සඳහා වන ඉහළ වියදම තවත් ගැටලුවක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල නිසි දැනුවත්භාවය නොමැතිවීමද මෙම ගැටලුව තවත් බරපතළ කරන්නකි. එසේම, මනෝ වෛද්‍යවරයකු වෙත යෑම ලැජ්ජාවට කරුණක් ලෙස සැලකෙන බැවින් බොහෝ අය වෘත්තීය සහාය ලබාගැනීමට පැකිළීම නිසා ඇතැමුන් නිහඬව සිය පීඩනය දරාගනියි.

AI ඔස්සේ සැලසෙන මානසික සෞඛ්‍ය විසඳුම් මඟින් මෙම හිඩැස පිරවිය හැකිය. මෙම ක්‍රම 24/7 පුරාම ක්‍රියාත්මක වෙමින්, අවශ්‍ය අයට වහාම, පහසු මිලට මෙන්ම ලැජ්ජාවකට පත් නොවන පරිදි සහාය පිරිනමයි. ‘Together by Renee’ වැනි ඇප් මෙම ප්‍රවේශයට අගනා ආදර්ශයකි. වෛද්‍ය රෙනී ඩුවා විසින් ආරම්භ කරන ලද මෙය මානසික හා කායික සෞඛ්‍යය අතර ඇති සම්බන්ධතාව වඩා සවිමත් කරන්නේ, සමස්ත සුවසෙත ඉහළ නැංවීම සඳහා මෙවලම් සපයමිනි. ලොව පුරා මිලියන ගණනක් දැනටමත් AI හරහා මානසික සෞඛ්‍ය ඇප් වෙත නැඹුරු වන්නේ මානසික සෞඛ්‍ය සුවසේවාව සැමට පහසුවෙන් සහ දැරිය හැකි මිලට ලබාදීමට ඒවාට හැකි බව කියාපාමිනි.

කායික සුවසෙත
ඇපල් වොච් සහ ෆිට්බිට් වැනි පැළඳිය හැකි උපාංග මඟින් හෘද ස්පන්දනය, රුධිර පීඩනය සහ වෙනත් සෞඛ්‍ය පරීක්ෂාවන්ට අදාළ දත්ත රැස්කරනු ලබයි. AI විශ්ලේෂණය ඔස්සේ, ඒවා මඟින් එකිනෙකාට ගැලපෙන සෞඛ්‍ය නිර්දේශ පිරිනැමෙන අතර, නුදුරු දිනෙකදීම කායික ගැටලු පිළිබඳ අනාවැකි මාස ගණනකට පෙර පළකළ හැකි වනු ඇත.

සායනික කටයුතුවලදීද AI අමිල කාර්යභාරයක් ඉටුකරයි. උදාහරණයක් ලෙස, AI ආශ්‍රිත මෙවලම් මඟින් පිළිකාව වැනි තත්ත්වයන් මුල් අවධිවලදීම හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලබාදෙමින්, රෝගීන්ට පහසුව සලසන අතරම වඩාත් ක්‍රියාකාරී සුවසේවාවක්ද සපයයි.

සායනික සහ පුද්ගල සෞඛ්‍ය නියාමනයට AI මුසුකර ගැනීමෙන්, වඩා යහපත් ප්‍රතිඵල ලබාදෙමින් කායික සුවසෙත සඳහා වඩාත් ක්‍රියාකාරී ප්‍රවේශයක් වෙත යොමුවීමට සුවසේවා සැපයුම්කරුවන්ට මෙන්ම සෙසු සැමටද හැකි වේ.

ළමා සංවර්ධනයට AI මඟින් ඇති වන බලපෑම
සුවසෙත හා සම්බන්ධ විවිධ පැතිකඩ යළි හැඩගැස්වීමට AI අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබියදී, මතු පරපුර කෙරෙහි එහි බලපෑම අවධානය යොමුකළ යුතු වැදගත් කරුණක් බවට පත්වෙයි. ළමා සංවර්ධනයේ මූලික අංශ කෙරෙහි එහි බලපෑම වටහා ගැනීම සහ නිසි ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

ළමා සංවර්ධනය කෙරෙහි ධනාත්මක මෙන්ම සෘණාත්මක බලපෑම්ද AI සතුව තිබිය හැකිය. එකිනෙකාගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි හැඩගැසෙමින් අධ්‍යයන කටයුතු ඉහළ නැංවීමේ හැකියාව AI සතුව පවතින අතරම, අධික ලෙස AI භාවිතය මඟින් මානසික සංවර්ධනය, විචාරශීලී චින්තනය සහ සමාජයීය කුසලතා අඩපණ වීමට ඉඩ ඇත. AI සහාය ලබාගැනීමට පෙර තමන් විසින්ම ප්‍රශ්න විසඳා ගැනීමට දරුවන් හුරුකළ යුතුය. දරුවන් අතර සමාජ අන්තර්සබඳතාවලට බාධා නොවන පරිදි ඉගෙනුම් කටයුතුවලට එය උපකාරී කර ගැනීමට හැකියාව සලසමින්, මව්පියන් විසින් AI භාවිතය පාලනය කළ යුතුය.

මානසික සංවර්ධනය: අන්තර්ක්‍රියා අනුකරණය කිරීමට AI සමත් වන අතරම, මිනිස් හැඟීම්වල ගැඹුර සහ අව්‍යාජත්වය එහි නැත. එය අධික ලෙස භාවිත කිරීමෙන් මානසික වර්ධනය අඩාල වීමට ඉඩ ඇත්තේ, සැබෑ ලෝකයේ මිනිස් අන්තර්ක්‍රියාවලින් ලැබෙන දැනුම දරුවන්ට අහිමි වන බැවිනි.

විචාරශීලී චින්තනය සහ ගැටලු විසඳීම: දරුවන්ට ඩිජිටල් සාක්ෂරතාව සහ විචාරශීලී චින්තනය ඉගැන්වීම ඉතා වැදගත්ය. AI වැඩිදියුණු වන විට, ඒ සමඟ ඉදිරියට ගමන් කරන ලෝකයට අවශ්‍ය සියුම් නුවණ සහ අනුවර්තන හැකියාව ඉහළ නංවා ගනිමින්, AI මඟින් ජනනය වන අන්තර්ගතයන් ප්‍රශ්න කිරීමට ඔවුන් ඉගෙන ගත යුතුය.

සමාජයීය කුසලතා: අධික ලෙස AI වෙත නැඹුරුවීමෙන් සමාජයීය කුසලතාවලට සෘණාත්මක බලපෑමක් එල්ල වීමත් සමඟ, සම්බන්ධතාවලට ප්‍රමුඛතාව දීම හෝ අන් අයගේ හැඟීම් වටහා ගැනීම කෙරෙහි දරුවන් වැඩි අවධානයක් යොමු නොකිරීමට ඉඩ ඇත. බලපෑම සමනය කිරීමට අන්තර් පුද්ගල කුසලතා සංවර්ධනය අත්‍යවශ්‍ය වේ. AI සතුව පවතින ප්‍රතිලාභ සමඟ එහි ඇති අවදානම් සහගත තත්ත්ව සැලකිලිමත්ව සමබර කර ගැනීමෙන්, අනාගත පරම්පරා අතර වගකීම් සහගත AI භාවිතය ප්‍රචලිත කරන අතරම මූල්‍යමය, මානසික සහ කායික වශයෙන් අපගේ පිරිපුන් සුවසෙත සලසා ගැනීමට අපට එය උපයෝගී කර ගත හැකිය.

AI මඟින් අපගේ ජීවිත වැඩිදියුණු කරන විවිධ මාර්ග ළංකර ගන්නා අතරම, එමඟින් ඇති විය හැකි අයහපත් තත්ත්වයන් මොනවාදැයි සොයා බැලීම සහ අවදානම් සහගත තත්ත්වයන් නිෂේධනය කිරීමද ඒ හා සමානවම වැදගත්ය.

AI මඟින් ඇති විය හැකි අයහපත් තත්ත්වයන් සහ අවදානම් නිෂේධනය කිරීම
වෙනත් ඕනෑම තාක්ෂණයක මෙන්ම, AI සතුවද අයහපත් සහ අවදානම් සහගත තත්ත්වයන් ඇත. එක් බරපතළ ගැටලුවක් වන්නේ දුස්තොරතුරු (මුළාකිරීම) පැතිරීමය. ChatGPT මඟින් දික්කසාදයක් යෝජනා කිරීම සහ ක්ලෝරීන් වැනි රසායනිකයන් භාවිතයෙන් අනාරක්ෂිත ආහාර සැකසීමක් ඉදිරිපත් කිරීම හා සම්බන්ධ මෑතකාලීන සිදුවීම් වැනි නොමඟ යවනසුලු උපදෙස් පිරිනැමීම හෝ සාවද්‍ය තොරතුරු ජනනය කිරීමට ඇතැම්විට AI පද්ධතිවලට හැකියාව ඇත.

තවත් ගැටලුවක් වන්නේ AI කෙරෙහි වුවමනාවටත් වඩා විශ්වාසය තැබීම වන අතර, එමඟින් මානව නිර්මාණශීලීත්වය, මතකය සහ විචාරශීලී චින්තන හැකියාව යටපත් විය හැකිය. මිනිසුන් AI කෙරෙහි වඩ වඩාත් විශ්වාසය තැබීමත් සමඟ ස්වාධීනව සිතීමේ හෝ එහි ආධාරය නොමැතිව ගැටලු විසඳීමේ හැකියාව ඔවුන්ට අහිමි වීමට ඉඩ ඇත. එසේම, AI පද්ධති වෙතින් ලැබෙන ප්‍රතිචාර ඒවා සකසන පුද්ගලයාගේ දේශපාලනික, වාර්ගික සහ/හෝ භාෂාමය ළැදියාවන් පිළිබිඹු කරන, පාර්ශ්වීය ප්‍රතිඵල වෙත නැඹුරු විය හැකි, එක් පැත්තකට වැඩි බරක් දෙන ආකාරයේ ඒවා විය හැකිය.

දිනෙන් දින උග්‍රවෙමින් පවතින තවත් ගැටලුවක් වන්නේ සැබෑ ලෙස පෙනෙන ව්‍යාජ වීඩියෝ සහ හඬ පට නිර්මාණයට AI යොදා ගැනීමය. AI මඟින් නිර්මාණය වන මෙම මාධ්‍යවලට ව්‍යාජ සිදුවීම් සැබෑ යැයි විශ්වාස කරන ආකාරයට ජනතාව රැවටිය හැකි අතර, එමඟින් ඉලක්කගත පුද්ගලයින්ගේ සහ සමූහයන්ගේ සුවසෙතට බරපතළ හානි සිදුවිය හැකිය. ව්‍යාජ පුද්ගල රූප නිර්මාණයට AI සතු හැකියාව ලොව පුරාම වර්ධනය වෙමින් පවතින ගැටලුවක් බවට පත්ව ඇත.

බොහෝවිට වඩාත්ම දරුණු ගැටලුව වන්නේ මිනිස් පාලනය ඉක්මවා යෑමට AI සතුව ඇති හැකියාවය. දශක ගණනාවක් පුරා මෙම තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සිදුකර ඇති AI විශේෂඥයකු මෙන්ම 2024 භෞතිකවිද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගලාභියාද වන ජෙෆ්රි හින්ටන් අනතුරු අඟවන පරිදි ඉදිරි වසර 20 තුළ මිනිස් බුද්ධිය ඉක්මවා යෑමට AI සමත් විය හැකි අතර, ඒ සමඟම එහි ස්වයංඅධිකාරීත්වය සහ මිනිස් අධීක්ෂණයෙන් තොරව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව පිළිබඳව ගැටලුද මතු වෙයි.

මෙම අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා, එක්සත් ජාතීන් වැනි ජාත්‍යන්තර සංවිධාන AI තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා සදාචාරාත්මක මාර්ගෝපදේශ සහ විශිෂ්ටතම ක්‍රමවේද ස්ථාපිත කිරීමට කටයුතු කරයි. රජයයන්ද එහි භාවිතය නියාමනයට නීති සකසමින් සිටියි. එලන් මස්ක් සහ හින්ටන් වැනි විශේෂඥයින් යෝජනා කරන්නේ වගකීම් සහගත AI භාවිතය සහ හානිකර ප්‍රතිඵල වැළැක්වීම සඳහා න්‍යෂ්ටික, රසායනික සහ ජීවවිද්‍යාත්මක අවි පාලනයට සමාන ගෝලීය එකඟතාවක් අත්‍යවශ්‍ය වන බවය.

සමාප්ති සටහන්
මූල්‍යමය, මානසික, සහ කායික වශයෙන් අපගේ පිරිපුන් සුවසෙත විශිෂ්ට ලෙස ඉහළ නැංවීමේ හැකියාව AI සතුය. එසේවුවද, එහි ප්‍රතිලාභ සමඟ විශේෂයෙන්ම ළමා සංවර්ධනය, දුස්තොරතුරු සහ වුවමනාවටත් වඩා ඒ කෙරෙහි විශ්වාසය තැබීම වැනි අංශ තුළ එමඟින් ඇති වන අවදානම් සහගත තත්ත්වයන් සමබර කරගැනීම අත්‍යවශ්‍ය වෙයි. වගකීම් සහගත භාවිතය ප්‍රචලිත කිරීම, විචාරශීලී චින්තනයට ඉඩ සැලසීම සහ සදාචාරාත්මක මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම මඟින් වඩා යහපත් හෙටක් සඳහා AI සතු බලය පාලනය කිරීමට අපට හැකිය.

අප ඉදිරියට ගමන් කරන විට, සමාජයට AI මඟින් සුබවාදී දායකත්වයක් ලබාගැනීම සඳහා නැණවත් නියාමනය සහ දැනුවත්භාවය ඉතා වැදගත් වනු ඇත. මේ සියල්ලත් සමඟ, සැලකිලිමත් කළමනාකරණය සමඟ ජීවිත වෙනස් කිරීමට, ප්‍රගතිය ඉදිරියට රැගෙන යෑමට සහ පිරිපුන් මානව සුවසෙත සැලසීමට අවශ්‍ය බලය AI සතුව ඇත.

Share on