ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා සිය උපායමාර්ගික බෑන්ක්ඇෂුවරන්ස් හවුල්කරු වන සෙලාන් බැංකුවේ ඉහළම කාර්යසාධනය පළ කළ සාමාජිකයින් ඇගයීමට සහ සම්මානයට පාත්‍ර කළේය. එම හවුල්කාරිත්වයේ අඛණ්ඩ වර්ධනය උදෙසා සැපයූ සුවිශේෂ කාර්යසාධනය සහ දායකත්වය ඇගයීමට සහ සම්මානයට පාත්‍ර කිරීම සඳහා සැලසුම් කරන ලද Seylan Overseas Tour 2026 නමැති, කාර්යශූරත්වය පදනම් කරගත් ඇගයීම් වැඩසටහනක් හරහා මෙම ඇගයීම් සහ සම්මාන පිරිනමනු ලැබිණි.

ජයග්‍රාහකයින්ට 2026 ඔක්තෝබර් 1 වැනිදා සිට ඇරැඹුණු දින හතරක සුවිශේෂ මැලේසියානු සංචාරයක් පිරිනමමින් ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සැමරිණි. මෙම සංචාරයට ක්වාලා ලම්පූර් නුවර ප්‍රමුඛ පෙළේ හෝටලයක නවාතැන් පහසුකම්, මැලේසියාවේ වඩාත්ම ප්‍රකට සංචාරක ආකර්ෂණ රැසක් නැරඹිය හැකි සුවිශේෂ නගර චාරිකාවක්, සහ සුහද හමුවක් සහිත මතකයේ රැඳෙන සන්ධ්‍යාවක් ඇතුළත් විය. එසේම, කණ්ඩායම් බැඳීම ශක්තිමත් කරගැනීමටත්, අත්දැකීම් බෙදාගැනීමටත්, සේවාස්ථානයෙන් ඔබ්බට ගිය කල් පවතින මතකයන් ගොඩනඟා ගැනීමටත් අවස්ථා සලසමින්, ප්‍රකට තේමා උද්‍යානයක් නැරඹීමට යෑමේ භාග්‍යයද මෙම කණ්ඩායමට ලැබිණි.

මෙම විදෙස් සංචාරය විශිෂ්ටත්වය දිරිගැන්වීම, සම්බන්ධතා ඉහළ නැංවීම, සහ යූනියන් ඇෂුවරන්ස්-සෙලාන් බැංකු බෑන්ක්ඇෂුවරන්ස් හවුල්කාරිත්වයේ දීර්ඝ-කාලීන සාර්ථකත්වය ශක්තිමත් කිරීම අරමුණු කර ගත් පුළුල් ඇගයුම් කාර්යරාමුවක එක් අදියරකි. යූනියන් ඇෂුවරන්ස් හි හවුල්කාරිත්ව බෙදාහැරීම් අංශයේ ප්‍රධාන කණ්ඩායම් අතරින් එකක් ලෙස, සෙලාන් බැංකුව එහි පුළුල් පාරිභෝගික ප්‍රවේශය, නිරන්තර සහයෝගය සහ සාමූහික අරමුණු වෙනුවෙන් කැපවීම ඔස්සේ අංශයේ කාර්යසාධනය සම්බන්ධයෙන් ප්‍රබල කාර්යභාරයක් ඉටුකරයි. පසුගිය වසර ගණනාව පුරා, සෙලාන් බැංකුවේ පුළුල් බැංකුකරණ ජාලය සමඟ යූනියන් ඇෂුවරන්ස් හි රක්ෂණ විශේෂඥතාව උපයෝගී කරගනිමින් ජීවිත රක්ෂණ විසඳුම් පහසුවෙන් ලබාගැනීමේ හැකියාව අඛණ්ඩව ඉහළ නැංවීමට මෙම හවුල්කාරිත්වය සමත්ව ඇත.

මෙම වැඩසටහනෙහි වැදගත්කම සහ ආයතන දෙක අතර පවතින සමීප සහයෝගිතාව විදහා දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ සාමාන්‍යාධිකාරී නබීල් මිල්හාන් මහතා සහ බෑන්ක්ඇෂුවරන්ස් අංශ ප්‍රධානී අශේන් දෙහිගස්පිටිය මහතා, ජයග්‍රාහී පිරිස සමඟ මෙම සංචාරය සඳහා එක්ව සිටියහ. සෙලාන් බැංකුව නියෝජනය කරමින්, එහි පාරිභෝගික බැංකුකරණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යූජින් සෙනෙවිරත්න මහතා සහ ශාඛා කලාප II අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවට එක් වූහ.

ජයග්‍රාහකයින්ට සුබ පතමින්, සෙලාන් බැංකුවේ පාරිභෝගික බැංකුකරණ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යූජින් සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය: “අපගේ සාර්ථකත්වයේ පදනම වන්නේ අපගේ සේවා බලකායයි. මේ සංචාරය අපගේ කාර්යමණ්ඩලය අදාළ කාලපරිච්ඡේදය පුරා විදහා දැක්වූ කැපවීම, වෘත්තීයභාවය, සහ අධිෂ්ඨානය පිළිබඳ මනා ඇගයීමක්. ජයග්‍රහණය සැමරීමට අමතරව, එක් එක් අයට තමන්ටම අභියෝග කරගැනීමට, විශිෂ්ටත්වය උදෙසා කැපවීමට, සහ ඔවුන් ඇති කරන ඵලදායීත්වය ගැන ආඩම්බර වීමට පෙළඹවීමක් ලැබෙන වටපිටාවක් පවත්වා ගැනීමට මෙවැනි වැඩසටහන් උපකාරී වෙනවා. විශිෂ්ට කාර්යසාධනය ඇගයීමට අර්ථවත් අවස්ථා නිර්මාණය කිරීමේදී යූනියන් ඇෂුවරන්ස් අඛණ්ඩව ලබාදෙන සහයෝගය අගය කරන අතරම, සෑම අතින්ම හිමි විය යුතු වූ මෙම ජයග්‍රහණය සඳහා සුදුසුකම් ලැබූ සියලු දෙනාට අපි සුබ පතනවා.”

වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි බෑන්ක්ඇෂුවරන්ස් අංශයේ සාමාන්‍යාධිකාරී නබීල් මිල්හාන් මහතා මෙසේ පැවසුවේය: “යූනියන් ඇෂුවරන්ස් හි අප විශ්වාස කරන ආකාරයට ඇගයීම කියන්නේ ඉහළ කාර්යසාධනයක් සහිත හවුල්කාරිත්වයක් ගොඩනැඟීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක්. සෙලාන් බැංකු කණ්ඩායමේ සාර්ථකත්වය මෙහෙයවනු ලබන්නේ අපගේ සාමූහික වර්ධන අභිලාෂයන් ඉටුකිරීමට දායක වන අතරම, වඩාත්ම වටින සැම දේ සැමදා රැකගැනීමට පාරිභෝගිකයින්ට සහාය වීම සඳහා නිරන්තරයෙන්ම ඉලක්ක ඉක්මවා යමින් කටයුතු කරන අයයි. මේ සංචාරය ඔවුන්ගේ කැපවීම සැමරීමක් වගේම ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳ අපගේ අගය කිරීමද වෙනවා. සෙලාන් බැංකුව සමඟ අප ගොඩනඟාගෙන ඇති දිගුකාලීන සම්බන්ධතාවය ගැන අප ආඩම්බර වන අතර, විශිෂ්ටත්වය හඹා යෑමට පෙළඹවීම් කරන, සම්බන්ධතා ඉහළ නංවන, සහ සියලුම පාර්ශ්වකරුවන් වෙනුවෙන් දිගුකල් පවතින ඵලදායිත්වයක් නිර්මාණය කරන වැඩසටහන් සඳහා ආයෝජනය කිරීමටත් අප නිබඳව කැප වී සිටිනවා.”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 800කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2026 ජූනි මාසය අවසාන වනවිට රු. බිලියන 43.1ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 102.1ක ජීවිත අරමුදලක් සහිතව දශක හතරකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.

යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.