නව තාක්ෂණයත් සමග වේගවත් ජීවිතයකට හුරු වෙමින් යන කුඩා දරුවන්ට ජංගම දුරකථන, පරිගණක වැනි ඩිජිටල් තිර නිසා සිදුවන බලපෑම අතිමහත් ය. අධික ලෙස ඩිජිටල් තිර සමග කාලය ගත කිරීම නිසා ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය බෙහෙවින් වෙනස් වී ඇති අතර සාමාන්‍ය ජීවිතයට වඩා ඔවුන් ඩිජිටල් අවකාශයට බොහෝ සෙයින් ප්‍රියතාවක් දැක්වීම වර්තමානයේ දී නිරීක්ෂණය කළ හැකිය.

මෙමගින් ඔවුන්ට සහ ඔවුන්ගේ ඩොපමීන් හෝර්මෝනවලට සිදුවන බලපෑමත්, එහි ආදීනවත් පිළිබඳව Union Assurance සමාගම මෙහෙයවන ‘Circle of Well-Being’ වැඩසටහනේදී, කොළඹ එම්පතික් ඉගෙනුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මහතා විසින් පසුගියදා අදහස් දක්වන ලදී.

ඩොපමීන් යනු කුමක්ද?
ඩොපමීන් යනු මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයට අතිශයින් වැදගත් ස්නායු රසායනික සම්ප්‍රේෂකයකි. අප යම් ක්‍රියාවක් කරන විට, එහි ආරම්භයට, එය ක්‍රියාත්මක කිරීමට, සහ එය සාර්ථකව අවසන් කිරීමෙන් පසු ලැබෙන තෘප්තිය අත්විඳීමට ඉවහල් වන සාධකය වන්නේ ඩොපමීන් වේ.

නිදසුනක් ලෙස, දරුවෙකු පාඩම් කිරීමට සූදානම් වීමේ දී, දරුවාගේ මොළයේ පූර්ව ඛණ්ඩික කොටසින් ඩොපමීන් නිකුත් කිරීමට විධානයක් ලබා දෙයි. දරුවා පාඩම් කරමින් යන විට එම ඩොපමීන් මගින් දරුවා තුළ තම පාඩම කරගෙන යෑමට අවශ්‍ය උනන්දුවද, එය අවසන් වූ පසුව සතුට සහ ජයග්‍රාහී හැඟීමද ලබා දෙයි. එමගින් දරුවාට මීළඟ කාර්යය කිරීම සඳහා අවශ්‍ය උත්තේජනයද ලැබේ.

මිනිස් ජීවිතය ඉදිරියට ගමන් කරන්නේ මෙලෙස නැවත නැවතත් සිදු වන ඩොපමීන් චක්‍ර මගින් වන අතර දරුවන්ගේ අධ්‍යාපනය සඳහා එය ඉතා වැදගත් වේ. අවුරුදු 05ක දරුවෙකුගේ මෙම චක්‍රයක කාල සීමාව මිනිත්තු 20ක් පමණ වන අතර, වැඩුණු දරුවෙකුගේ මෙම කාල සීමාව මිනිත්තු 40ක් පමණ වේ. පාසලක එක් කාල පරිච්ඡේදයක් මිනිත්තු 40කට සීමා වන්නේද මෙම චක්‍රය පිළිබඳ සැලකිල්ලට ගෙනය.

ඩිජිටල් තිරවලින් දරුවන්ට කෙරෙන බලපෑම
වර්තමාන ලෝකයේ කුඩා දරුවන් විසින් සිය අධ්‍යාපනික කටයුතු සඳහා මෙන්ම ක්‍රීඩාවල නිරත වීම, වීඩියෝ නැරඹීම වැනි ක්‍රියාකාරකම් සඳහා ද ඩිජිටල් තිර අඩංගු උපාංග භාවිතා කරනු ලබයි. මෙම ඩිජිටල් තිර සෑදී ඇත්තේ කුඩා පික්සලවලින් වන අතර, ඩිජිටල් ක්‍රීඩා නිසා එම පික්සලවල සිදු වන වේගවත් ක්‍රියාකාරීත්වය හේතුවෙන්, එහි බලපෑම දෘෂ්ටිවිතානය ඔස්සේ මොළය තෙක් ගමන් කර, ඉහත සාකච්ඡා කළ සාමාන්‍ය ඩොපමීන් ක්‍රියාවලියට ඔබ්බෙන් මොළය දැඩි ලෙස උත්තේජනය කිරීමට පටන් ගනියි. මෙම උත්තේජනයෙහි බලපෑම කෙතරම්ද කියතොත්, විද්වතුන් මෙය හඳුන්වන්නේ .ඉලෙක්ට්‍රොනික් කොකේන් යන නමිනි.

කෙසේවෙතත්, අධ්‍යාපනික කටයුතුවලින් මොළයට වන බලපෑම අඩු වන අතර, ජංගම දුරකථන ක්‍රීඩා, පරිගණක ක්‍රීඩා ඇතුළු සියලුම ඩිජිටල් ක්‍රීඩාවලින් දරුවෙකුට සිදුවන බලපෑම වැඩිය. ඩිජිටල් ක්‍රීඩාවල ඇති අධිවේගි බව නිසා දරුවන්ද අධිවේගී වේ. ඔවුන් අධි ගම්‍ය වේ. අධි ක්‍රියාශීලී වේ.

මිනිස් මොළය ක්‍රියා කරන්නේ ඉහළ සිට පහළට දිවෙන සාමාන්‍ය පථයක වේ. නමුත් අධිවේගී ඩිජිටල් ක්‍රීඩා නිසා වේගවත් වන දරුවන් ක්‍රමයෙන් සාමාන්‍ය පථය අත්හැර, හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට ඇති මොළයේ පහළ සිට ඉහළට දිවෙන ත්‍රාසජනක පථයක් වෙත ගමන් කරයි. ඉන්පසු මෙම ත්‍රාසජනක පථය ඔවුන්ගේ සාමාන්‍ය පථය බවට පත්වේ. සමහර දරුවන් මෙතැනින්ද ඔබ්බට ගොස්, වඩාත් වැඩි ත්‍රාසයක් සොයනු පිණිස මරණය පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාද වාර්තා වී ඇත.

වැඩුණු මිනිසෙකුට වඩා කුඩා දරුවෙකු හට ඩිජිටල් තිරවලින් කෙරෙන බලපෑම ඉතා විශාල වන අතර, ඇමෙරිකානු වෛද්‍ය ආයතනය උපදෙස් ලබා දෙන්නේ වයස අවුරුදු 03ට අඩු දරුවන්ට කිසිසේත්ම ඩිජිටල් තිර ලබා නොදෙන ලෙසයි.

ඩිජිටල් තිර නිසා දරුවන් තුළ සිදු වන වෙනස්කම්
ඩිජිටල් තිර නිසා ඇති වන ඩොපමීන් විපර්යාසය හේතුවෙන් දරුවන් තුළ ඇති වන ප්‍රධානතම ලක්ෂණය නම්, ඔවුන් ඉතා කලබල ස්වාභාවයක් ගැනීමයි. මීට අමතරව තවත් ලක්ෂණ ලෙස ඔවුන් හදිසියෙන් වැඩ කිරීම, ඔවුන්ගේ අවධානය එක තැනක් වෙත යොමු කිරීමට ඇති අපහසුව, සුළු දෙයටත් ක්ෂණිකව කෝපයට පත්වීම, සහෝදර සහෝදරියන් සමග රණ්ඩුවට යෑම, Stupid හා Idiot වැනි වචන ඇතුළත් නව වාග්කෝෂයකට හුරු වීම, වැඩි කතාබහක් නැති වීම සහ කෙටි උත්තර දී මඟහැරීම හඳුනාගත හැකිය. ඒ වගේම දරුවා නිතරම කාමරයට වී දොරත් වසාගෙන සිටිනවා නම්, එය දැඩිව සැලකිලිමත් විය යුතු ලක්ෂණයකි.

ඔවුන් පාසල් යෑමට මැලිකමක් දක්වයි. නිදි මැරීමට පටන් ගනියි. ඔවුන්ගේ ආහාර අවශ්‍යතාව අඩු වෙයි. ඔවුන් නිතරම චෝදනා කරන, සෑම දෙයටම බණින සහ නිතරම රණ්ඩු වීමට සූදානමින් සිටින ප්‍රතිමල්ලවයෙකුගේ තත්ත්වයට පරිවර්තනය වේ. ඔවුන් යමකට ප්‍රතිචාර දැක්වීමට ගන්නා කාලය වැඩි වේ. ඔවුන් තුළ සාමාන්‍ය ජීවිතය ගැන ඇති අවබෝධය අඩු වේ. ඩිජිටල් ක්‍රීඩාවල ඇති නැවත නැවතත් උත්සාහ කිරීමට ඇති හැකියාව නිසා, යමක ඇති අනතුරුදායක බව පිළිබඳ දැනීම ඔවුන්ගේ මනසින් ගිලිහීමට පටන් ගනියි. පෙර කී ලෙස සාමාන්‍ය වේගය මන්දගාමී නිසා, ඔවුන් වඩ වඩාත් ඩොපමීන් ලබාගැනීම වෙනුවෙන් ත්‍රාසජනක ක්‍රියාවල යෙදීමටද උත්සාහ කරන අවස්ථා ඇත. කොටින්ම මේ නිසා දරුවන්ගේ මානසික සුවතාවය කෙමෙන් කෙමෙන් දුර්වල වී යනු ඇත.

මේ වෙනුවෙන් කළ හැකි ප්‍රතිකර්ම
ඩිජිටල් තිර නිසා ව්‍යාකූලත්වයට පත්වී සිටින දරුවන් වෙත ඖෂධ ලබාදීමට වඩා, ස්වාභාවික සහ චිකිත්සක ක්‍රම මගින් ඒවාට පිළියම් සෙවීම වඩාත්ම සුදුසුය. බොහෝ වෛද්‍යවරුන් විසින් දරුවන්ගේ මෙම ලක්ෂණ නිරීක්ෂණය කර ඔවුන්ට ADHD වැනි තත්ත්වයක් ඇතැයි වැරදි ලෙස රෝග නිර්ණය කරනු ලබයි. මේ තත්‍ත්වයන් අතර වෙනස හොඳින් අවබෝධ කරගත යුතුය. අනෙක් අතට කුඩා දරුවන්ගේ මොළය වර්ධනය වන කාලය තුළ බාහිර ඖෂධ ලබාදෙනවාට වඩා, මොළය තුළින්ම ඩොපමීන් පාලනය කළ හැකි හෝර්මෝනයක් වන Glutamine මගින් එය ඉටු කරගැනීම වඩාත් සුදුසුය.

මෙලෙස ස්වාභාවිකවම අනුගමනය කළ හැකි පිළියමක් ලෙස පවුලේ සියලු දෙනා එක්ව, දුරකථන පසෙකින් තබා එකට ආහාර ගැනීම නිර්දේශ කළ හැකිය. දවසේ ආගිය තොරතුරු කතා කරමින්, සතුටු සාමිචියේ යෙදෙමින්, පවුල අතර බැඳීම ශක්තිමත් වන සේ ක්‍රියාකිරීම දරුවාට යහපත් ලෙස බලපෑම් කරනු ඇත. මෙහිදී දෙමව්පියන්ද ඔවුන්ගේ ප්‍රශ්න, රැකියා ස්ථානයේ ගැටලු සහ වෙනත් ආරවුල්ද පසෙකින් තබා, පාසලේ විෂයයන් ගැන වැනි දරුවන් අකමැති දේ ගැනද කතා නොකර, සතුටුදායක දේවල් ගැනම සංවාද කිරීම තුළින් දරුවා සහ පවුල අතර ඇති බැඳීම ශක්තිමත් වනු ඇත.

මේ සඳහා දරුවාගේ පියාගේ කාර්යභාරය අතිශයින් වැදගත්ය. මවක් නිතරම දරුවා සමග සිටින නිසා දරුවාගේ අවසාන තීරකයා ලෙස දරුවා හඳුනාගන්නේ තම පියා වේ. එබැවින් පියා දරුවා සමග සම්බන්ධවීම, බැඳීමක් ඇති කරගැනීම, දරුවාව මවට භාර නොකොට තමාද දරුවාගේ ප්‍රියතම විෂයයන් වැනි තොරතුරු පවා දැන සිටීම ඉතා වැදගත් වේ.

මීට අමතරව දරුවාව ශාරීරික ක්‍රියාවලට යොමු කිරීම, විනෝදාංශ හඳුන්වාදීම, ක්‍රීඩාවලට උනන්දු කරවීම වැනි ක්‍රියාකාරකම් සහ දරුවාගේ ඇඟිලි හොඳින් ක්‍රියා කරවන, දරුවාට ශාරීරිකව අවට ලෝකය ස්පර්ශ කළ හැකි ක්‍රියාකාරකම්වලට දරුවාව යොමු කිරීමද නිර්දේශ කළ හැකිය.

දරුවෙකුගේ මතකය හා සම්බන්ධ හොර්මෝනය වන Melatonin සක්‍රීය වන්නේ පස්වරු 06න් පසුව බැවින්, ඉන් පසුව දරුවාව ඩිජිටල් තිරවලින් හැකි තරම් ඈත් කර තිබීම මැනවි. ඊට අමතරව LED බල්බවලින් නිකුත් කරන නිල් ආලෝකය දරුවාගේ මතකයට බලපෑම් කළ හැකි නිසා, දරුවාගේ පාඩම් කටයුතු කහ පැහැති එළියක් ලබාදෙන ක‍ත‍ඛ බල්බයක් යටතේ සිදුකිරීමට ඉඩ සැලසීම වඩාත් සුදුසුය. දරුවාට සුව බර නින්දක් ලබාගැනීමට සැලැස්වීම තවත් එක් ප්‍රතිකර්මයකි.

ගර්භණී මව්වරුන්ද, දරුවා කුස තුළ සිටින කාලයේ පටන්ම ඩිජිටල් තිරවලින් ඈත් වී සිටිමින්, කුස තුළ සිටින දරුවාට කතා කරමින් සබඳතාවක් ගොඩනගා ගැනීමද ඉතා අගනේය. දරුවාගේ පියාද කුඩා කල සිටම දරුවා සමග යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීම දරුවාට හිතකර ලෙස බලපායි.

ඩිජිටල් තිර මතින් ඈත් වූ, පවුල සහ ශාරීරික ස්පර්ශ මත ගොඩනැගුණු බැඳීම් මගින් වඩාත් නිරෝගී, සතුටින් සිටින මානසික සුවතාවෙන් පිරි දරුවෙකු මෙලොවට දායාද වනු ඇත.

Share on