නව වසරක උදාවත් සමඟ නව සිතුම් පැතුම්, බලාපොරොත්තු, සහ අරමුණු ඔස්සේ හෙට දවස වඩා යහපත් කරගැනීම උදෙසා කටයුතු කිරීමට බොහෝ අය පෙළඹෙති. එදිනෙදා ජීවිතය මෙන්ම වෘත්තීය ජීවිතයද වඩාත් යහපත් කරගැනීම සෑම කෙනෙකුගේම නව අවුරුදු පැතුම බවට පත්වෙයි. නව ආරම්භයක් සමඟ සාමාන්‍ය එදිනෙදා ජීවිතය සහ වෘත්තීය ජීවිතය ජයගත හැකි වන පරිදි සිතන පතන රටාව හෙවත් මානසික නැණවත්භාවය ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමුකිරීමට සුදුසු මොහොතක් ලෙසද නව වසර ආරම්භය සැලකිය හැකිය.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීම වැදගත් වන බැවින්, සාර්ථක ජීවිත ගතකිරීම සඳහා පහුණුවක් අවශ්‍යද යන කරුණ පිළිබඳව නිරන්තර අවධානය යොමුකරමින් මෙරට විශාල පිරිසකට දැනුම බෙදා දෙන, අන්තර්ජාතික පරිවර්ථනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සාමාජික (ICF Member), සම්මානලාභී ලේඛක, පුහුණුකරු භාතිය අර්ථනායක සහභාගි වූ ‘යූනියන් ඇෂුවරන්ස් හි Circle of Well-being’ නවතම වැඩසටහනෙහි මූලික කරුණු මෙම ලිපියට ඇතුළත්ය. සාර්ථකත්වයට වැදගත් වන නව දැනුම, අත්දැකීම් සහ උදාහරණ සහිතව එදිනෙදා ජීවිතයට සහ වෘත්තීය ජීවිතයට වැදගත් වන මානසික නැණවත්භාවය ඔස්සේ මූල්‍යමය, මානසික, සහ කායික වශයෙන් පිරිපුන් සුවසෙත සලසා ගත හැකි අයුරු පෙන්වාදෙමින් ඔහු ඉදිරිපත් කළ වැදගත් කරුණු පෙළගැස්මකි මේ.
නව වසරක් යනු නව ආරම්භයකට ලැබෙන මානසික උත්තේජනයකි
සිතිවිලි පැන නගින්නේ අපගේ ඇතුළාන්තයෙන්මය. ඇතැම් අවස්ථාවලදී එම සිතිවිලි අපගේ ඉදිරි ගමනට බාධාවක් වන අතර, ඇතැම් අවස්ථාවලදී එම සිතිවිලි අපගේ ඉදිරි ගමනට විශාල වශයෙන් උදව් වෙයි. නව වසරක් යනු ඕනෑම අයෙකුට මානසික වශයෙන් ලැබෙන විශාල උත්තේජනයකි. යම් අයෙකුට නව වසර ආරම්භයේදී වෙනස්වීම, නව ආරම්භයක් ලබාගැනීම සහ අලුතෙන් සිතා වැඩකිරීම අරැඹිය හැකිය. දින 365ක් යනු කෙනෙකුගේ ජීවිතයේ විශාලු වෙනසක් සිදුකළ හැකි කාලපරිච්ඡේදයකි. එහෙත්, යම් අයෙකුට ජීවිතය වෙනස් කරගැනීමට අලුත් අවුරුද්දක ආරම්භයක්ම අවශ්‍ය වන්නේද නැත. උදා වන සෑම දිනයකම වුවද අලුත් ආරම්භයක් ලබාගත හැකිය. අවශ්‍ය වන්නේ අලුත් ආකාරයට වෙනස්වීමට අවශ්‍ය මානසික නැණවත්භාවය ඇතිකර ගැනීමය.
අරමුණු සපුරා ගැනීම සඳහා මානසික වශයෙන් වෙනස් විය යුතුය
අප ඇතැම් තීරණ ගන්නේ හදිසියේ පැන නගින යම් යම් තත්ත්වයන් අනුවය. එහෙත් එවැනි තත්ත්වයන් හමුවේ චිත්තවේගී ලෙස ගන්නා තීරණවලින් ජීවිතය ඉදිරියට ගෙන යා නොහැකිය. කිසියම් අයෙක් අරමුණක් වෙත ළඟාවීමට තීරණය කරන විට ඒ සඳහා අවශ්‍ය පරිදි වෙනස් විය යුතුය. එවැනි වෙනස්වීමකට මුහුණදීමට ඇතැම් වෘත්තිකයින්ට හැකියාවක් නැත. ආයතනයක ඉහළ නිලධාරීන් යටතේ සේවය කරන අයෙකුට අනාගතයේ දිනයක ඉහළ තනතුරකට පත්වීමේ අරමුණක් ඇත්නම්, ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ හැකියාවන් වැඩිදියුණු කරගනිමින් මෙන්ම අත්දැකීම් ලබාගනිමින් වෙනස්වීමට එම වෘත්තිකයාට සිදුවෙයි. එසේම, තමන් අවට සිටින සෙසු වෘත්තිකයින් සමඟ යහපත් සම්බන්ධතා ජාලයක් ගොඩනගා ගැනීමද මෙහිදී වැදගත් වෙයි. එයින් අදහස් වන්නේ තමන්ගේ ඇතුළාන්තයෙන් ගොඩනැගෙන මානසික තත්ත්වයන්, සිතුම් පැතුම් මෙන්ම තමන් අවට පරිසරයේ ස්වාභාවයද වෘත්තිකයකුගේ ඉදිරි ගමනට බලපාන බවය.
සුවසෙත සපුරාලීමට සහාය වන චිත්තවේග බුද්ධිය
චිත්තවේග බුද්ධිය (Emotional Intelligence) හැම කෙනෙකුටම ඉතා වැදගත්ය. ඇතුළතින් මතු වන චිත්තවේග මත කෙනෙකුගේ ක්‍රියාකාරිත්වය තීරණය වෙයි. තමන් තුළ ඇති හැඟීම්වල බලය බොහෝ අය නොදනිති. පුද්ගලයින්ව හසුරුවන්නේ එම හැඟීම්වලිනි. ආයතනයක සේවය කරන විට තමන් අවට ඇති වටාපිටාව වෙනස් කිරීමට සේවකයකුට නොහැකි වුවද, ඇතැම් අවස්ථාවලදී එම පරිසරයේ පවතින යම් යම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා මානසික හෙවත් චිත්තවේගීය හැඟීම වෙනස්කර ගැනීමට ඔහුට හෝ ඇයට හැකිය. තමන්ට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට සුදුසු පරිදි හැඟීම් පාලනය කරගන්නා අයෙකු ‘ඇලඩින්ගේ පුදුම පහන’ ළඟ තබාගෙන සිටින්නෙකු වැනිය. සියලු දෙනා සුවසෙත පිළිබඳව සිතන්නේ නම්, චිත්තවේග බුද්ධිය ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතුය. කිසියම් කෙනෙකු සිතන පනත ආකාරය ඵලදායී නැතැයි පෙනී යන්නේ නම්, වෙනස් ආකාරයකට සිතීම ආරම්භ කිරීමෙන් ඵලදායී ප්‍රතිඵල ලබාගැනීමට මඟ සැලසෙනු ඇත.
රැකියාවේ උසස්වීමක් සඳහා වැදගත් වන මානසික වෙනස
ව්‍යාපාරික මුහුණුවරක් සහිත සේවා ස්ථාන රැසක් අයත් වන ආයතනික ලෝකය තුළ පවතින්නේ ඉතාම තරගකාරී ස්වභාවයකි. ව්‍යාපාර ආයතන අතර මෙන්ම එවැනි ආයතනවල සේවය කරන පිරිස් අතරද දැඩි තරගයක් පවතී. කිසියම් ආයතනයක් මෙම තරගයට මුහුණ දෙමින් ඉදිරියට යෑමට උත්සාහ ගන්නේ දක්ෂ සේවක පිරිසක් සමඟය. ආයතනවල බොහෝවිට උසස්වීම් හිමි වන්නේ සෙසු අයට වඩා දක්ෂ සේවකයින්ටය. එසේම, බොහෝවිට එවැනි උසස්වීම් පිරිනමනු ලබන්නේ ආයතනයේ වැඩි කලක් සේවය කළ, අත්දැකීම් බහුල සේවකයින්ටය. එයට හේතුව වන්නේ එවැනි සේවකයින්ට එම ආයතනයේ ස්වභාවය පිළිබඳව වඩාත් ඉහළ අවබෝධයක් තිබීමය. ආයතනයක සේවය කරන සෑම සේවකයෙකුටම ඉහළ තනතුරු දක්වා ගමන් කිරීමේ හැකියාව ඇත. එහෙත් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සහ වෙනත් විවිධ හේතු නිසා කෙනෙකුට එවැනි උසස්වීමක් ලබාගැනීමේ අවස්ථා මඟ හැරී යා හැකිය. ඇතැම්විටෙක ආයතනයක දිගු කලක් සේවය කළ අයෙකු සිටියදීම පිටතින් අලුත් සේවකයකු බඳවා ගන්නා අවස්ථාද ඇත. එසේ වුවහොත්, ආයතනයේ දිගු කලක් සේවය කළ පැරණි සේවකයා මානසිකව කඩා වැටීමට ඉඩ ඇත. එහෙත්, එවැනි අවස්ථාවකදී එම සේවකයා විසින් කළ යුතු වන්නේ මානසිකව වෙනස් ලෙස සිතමින්, තමන්ට එම අවස්ථාව අහිමි වූයේ ඇයිදැයි යන්න ගැන විමසිලිමත්ව සොයා බැලීමය. ඇතැම්විට එම තැනැත්තා ආයතනයේ කොතරම් පැරණි සේවකයකු වුවද, ඔහු සතු නොවන දක්ෂතා, හැකියාවන් හෝ සුවිශේෂතා පිටතින් බඳවා ගන්නා ලද සේවකයා සතුව තිබිය හැකිය. පැරණි සේවකයා සිටියදී නව සේවකයාව බඳවා ගනු ලැබීමට හේතුව එය නම්, පැරණි සේවකයා කළ යුත්තේ තමන්ගේ දුර්වලතා මඟහරවා ගනිමින්, අවශ්‍ය දක්ෂතා, හැකියාවන් සහ සුවිශේෂතා ගොඩනගා ගැනීමට කටයුතු කිරීමය.
වෘත්තීය ජීවිතයේ අභියෝග ජයගැනීමට අවශ්‍ය වන හැඟීම්
මිනිසා යනු විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටින සත්වයෙකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසා එවැනි අභියෝගවලට මුහුණ දෙමින් සිටියි. මුල් යුගයේදී මිනිසාට දඩයම් කිරීමට ආයුධයක් හෝ තිබුණේ නැත. ඒනිසාම, ගොදුරු සොයාගෙන දඩයමේ යන දඩයක්කාරයා සතුන්ගේ ගොදුරක් බවට පත්වූ බොහෝ අවස්ථා ඉතිහාසයේ තිබෙන්නට ඇත. එදා මෙන්ම අදත් පවතින්නේ එවැනි අභියෝගාත්මක හා අවදානම් සහගත තත්ත්වයන්ය. ඉදිරියේදී තමන්ගේ ජීවිතයේ කුමක් සිදුවේදැයි කල්තියා සිතා ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත. වෘත්තීය ජීවිතයේදීත් බොහෝ අයට මුහුණදීමට සිදුවන්නේ මෙවැනි තත්ත්වයන්ටය. වෘත්තීය ජීවිතය ජයගැනීමේ අරමුණ ඇතිව කටයුතු කරන වෘත්තිකයින් මෙවැනි අභියෝග හමුවේ වෙනස් විය යුතු ආකාරය පිළිබඳව අවධානය යොමුකළ යුතුය. ලෝකයේ වෙනත් රටවල වෘත්තිකයින් විවිධ අභියෝග ජයගැනීමට කටයුතු කළ අයුරු සොයා බලා බොහෝ දේ ඉගෙන ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ වෘත්තිකයින්ට ඇත. මෙහිදී ඉතා සාර්ථකව වෘත්තීය ජීවිතය ජයගත් අයෙකු වූ ස්ටීව් ජොබ්ia මුහුණ දුන් අත්දැකීමක් බොහෝ අයගේ අවධානයට යොමු විය යුතුය. ඔහුට වයස අවුරුදු විසි නවයක් වන විට ඇපල් මැකින්ටොෂ් පරිගණක ඉතා ඉහළ පිsගැනීමකට ලක්ව තිබිණි. එහෙත්, ඔහු ආරම්භ කළ සමාගම විසින්ම ඔහුව සේවයෙන් ඉවත් කරනු ලැබිණි. තමන් විසින්ම ආරම්භ කරන ලද සමාගමෙන් තමන්ව ඉවත් කිරීම වැනි අවාසනාවන්තම අත්දැකීමට මුහුණදීමෙන් පසුව පවා ඔහු පැවසුවේ එය වඩා ඵලදායී වෘත්තිකයෙකු වීමට ඔහුට අවස්ථාව සැලසූ බවය. එයින් පසුව ඔහු බොහෝ දේවල් ඉගෙන ගනිමින්, අලුත් දේවල් කල්පනා කිරීමට පටන් ගත්තේය. ඒ සමඟම තවත් ආයතන ආරම්භ කිරීමට ඔහු සැලසුම් කළේය. ඔහු පසු කලෙක පවසා ඇත්තේ ඒ අවාසනාවන්ත සිදුවීම සිය ජීවිතයේ සිදුවූ හොඳම දේ ලෙස තමන් සලකන බවය. එදා සිය සමාගම විසින් තමන්ව ඉවත් නොකළේ නම්, පසු කාලයකදී වඩා ශක්තිමත්ව ගොඩ නැගෙන්නට තමන්ට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු කීවේය. වෘත්තිකයින් කටයුතු කළ යුත්තේ එවැනි හැඟීමකින් යුතුවය.
අභියෝග සහ බිඳවැටීම් හමුවේ ඒ පිළිබඳව අනවශ්‍ය පරිදි සිතමින් මානසිකව කඩාවැටීම වෘත්තිකයින් විසින් කිසි විටෙක නොකළ යුත්තකි. ඒ වෙනුවට වෘත්තිකයින් කළ යුත්තේ අභියෝගවලට මුහුණ දිය හැකි පරිදි මානසිකව ශක්තිමත් වීමය. එසේම, වෘත්තිකයින් සිය ඉදිරි ගමනට වැදගත් වන අරමුණු සහ බලාපොරොත්තු කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුය. මෙලොව ජයග්‍රාහකයින් සහ පරාජිතයින් යනුවෙන් දෙපිරිසක් සිටිති. ඔවුන් දෙපිරිසම බොහෝවිට ජීවිතයේ එක හා සමාන අත්දැකීම්වලට මුහුණ දුන් අය විය හැකිය. එහෙත් ඔවුන් ඒ අත්දැකීම්වලට මුහුණ දෙන ආකාරය අනුව ඔවුන් ජයග්‍රාහකයින්ද, එසේ නැතහොත් පරාජිතයින්ද යන්න තීරණය වේ.