Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සම්පාදකයා වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, තම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයන්හි සාර්ථකත්වය සැමරීම සඳහා සංවිධානය කළ විශේෂ උත්සවයක් (Union Assurance Partner Appreciation Night) පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්සී.හි සමූහාධිපතිතුමන්, එහි සමූහ විධායක කමිටුව සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුමන් විසින් සත්කාරකත්වය දරන ලද මෙම උත්සවයට හවුල්කාර බැංකු වල ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විධායක කමිටුවේ සමාජිකයන් ඇතුළු පිරිසක් එක්වූහ.

2022 වසර තුළ වාර්ෂික නව ව්‍යාපාර වාරික (ANBP) රු. බිලියනයේ සීමාව පසුකර යාමටත්, තම සේවාවන් හවුල්කාර බැංකු වල ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත හඳුන්වා දීමටත් යූනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි. හවුල්කරුවන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් අනුව විශේෂයෙන් සකස් කළ විසඳුම් පිරිනැමීම, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම සහ විශිෂ්ට තලයේ පාරිභෝගික සේවාවක් පිරිනැමීම යනාදී සාධක නිසා මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකි වී තිබේ. මේ සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් හවුල්කාර බැංකු වල නියෝජිතයන්ට සිය ස්තූතිය පළකරන ලදි.

උත්සවයේ පිළිගැනීමේ කථාව පැවැත්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය, සමාගම සමග සමීපව කටයුතු කරමින් බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ අංක එක බවට පත්වීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් හවුල්කාර බැංකු වලට තම කෘතඥතාව පළකළා ය. “2022 වසරේ සාර්ථකත්වය සැමරීමට අපගේ හවුල්කරුවන් සියලුම දෙනා මෙලෙස එක් වී සිටීම අපට මහත් සතුටක්. මෙම සාර්ථකත්වය ඉදිරි වසර වලදීත් පවතිනු ඇති බව අපට විශ්වාසයි. සාමූහිකව කටයුතු කරමින්, ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන්ට සහ අරමුණු වලට හොඳින්ම ගැළපෙන විසඳුම් පිරිනැමීමට අපට හැකි වී තිබෙනවා.” වින්ධ්‍යා කුරේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියා ය.

මෙහිදී අදහස් දැක්වූ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්සී.හි නියෝජ්‍ය සමූහාධිපති සහ සමූහ මූල්‍ය අධ්‍යක්ෂ ගිහාන් කුරේ මහතා, අභියෝග මධ්‍යයේ ලබාදුන් දැවැන්ත සහයෝගය වෙනුවෙන් හවුල්කාර බැංකු වලට තම ස්තූතිය පළකළේ ය.

“අද දින මෙහි පැමිණීමට කාලය වෙන්කිරීම පිළිබඳව මුලින්ම ඔබ සැමට ස්තූතිවන්ත වනවා. ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභියෝග කොතෙක් තිබුණත්, බැංකු රක්ෂණ අංශය තුළ පෙරමුණ ගැනීමට අපට හැකි වුණා. අඛණ්ඩව වසර දෙකක් තිස්සේ වාර්ෂික නව ව්‍යාපාර වාරික අගය රු. බිලියනයේ සීමාව පසුකරමින්, ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ අංක එක ස්ථානය තහවුරු කරගැනීමට අප සමත් වී තිබෙනවා. ඔබගේ සහයෝගය නොතිබෙන්නට අපට මෙම සාර්ථකත්වය අත්කර ගැනීමට හැකිවන්නේ නැහැ.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

“ඔබ සමග එක්ව වැඩ කිරීමට මෙන්ම එක්ව ජයග්‍රහණ සැමරීමට හැකි වීම ගෞරවයක්. අප කෙරෙහි තැබූ විශ්වාස වෙනුවෙන් මෙන්ම, අභියෝග බහුල වසරක් තුළ සාර්ථකත්වය ළඟා කරගැනීම සඳහා ඔබ පෙන්නුම් කළ උනන්දුව හා කැපවීම වෙනුවෙන් මා ඔබට නැවත වරක් ස්තූතිවන්ත වනවා. සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ඩිජිටල් නායකත්වය වෙනුවෙන් ඔබ දක්වන උනන්දුව සමග, ඉදිරියේදී වැඩි පිරිසක් වෙත රක්ෂණ සේවාවන් සමීප කරවමින්, ශ්‍රී ලාංකික සිහිනය සවිබල ගැන්වීමට අපට හැකි වේවි. 2023 වසරේදී අපගේ ව්‍යාපාර පෙරටත් වඩා දියුණු වේවා කියා සහ අපගේ හවුල්කාරීත්වයන් තව තවත් ශක්තිමත් වේවා කියා මා ප්‍රර්ථනා කරනවා.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසී ය.

සතුට හා සුහදත්වය සමගින් සාර්ථකත්වය වෙනුවෙන් වූ නව ගමනක ආරම්භය සනිටුහන් කළ Union Assurance Partner Appreciation Night උත්සවය සාර්ථක ලෙස අවසන් විය.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන අතර, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 16.6 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු. බිලියන 54.7 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 3,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.