Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ‘Go Green’ ක්‍රියාන්විතය හරහා තිරසරභාවයේ සහ පාරිසරික වගකීමේ වැදගත්කම හඳුනාගෙන තිබේ. හරිත ක්‍රියාන්විතයන් සඳහා සමාගමේ කැපවීම තවදුරටත් වර්ධනය කිරීමට, කර්මාන්තය තුළ සිදුවන පාරිසරික බලපෑම අවම කිරීම, තිරසර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ පුළුල් පාරිසරික සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා දායක වීමේ අරමුණින් යූනියන් ඇෂුවරන්ස් විසින් රක්ෂණ සහතිකයක් සහ විද්‍යුත් රක්ෂණ ලියකියවිලි හඳුන්වා දී ඇත.

රක්ෂණ සහතිකයේ ප්‍රතිලාභ පිළිබඳ සාරාංශයක් සහ රක්ෂණ ඔප්පු හිමියාගේ ජීවිත රක්ෂණය පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් වෙයි. රක්ෂණ සහතිකය සමගින්, රක්ෂණ ඔප්පු හිමියන්ට බහුවිධ විකල්ප හරහා ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ආකාරයට සකස් කළ විද්‍යුත් රක්ෂණ ලේඛනය වෙත ප්‍රවේශය ලැබෙනු ඇත. ඔප්පු හිමියන්ට ලියාපදිංචි ජංගම දුරකතන අංකයට එවන ලද SMS සබැඳිය හරහා QR කේතය ස්කෑන් කිරීමෙන්, සහ Clicklife යෙදුම හරහා ලේඛන ලබා ගැනීම සඳහා භාවිතයට පහසු, ජංගම-ඵලදායී වේදිකාවක් හරහා රක්ෂණ ලේඛනය බැලීමට හෝ බාගත කර ගැනීමට හැකිය.

මෙම ක්‍රියාන්විතය පිළිබඳව අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක ප්‍රකාශ කළේ, “යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අපි නවෝත්පාදනය, ප්‍රගතිය වගේ ම පාරිසරික, සාමාජික සහ පරිපාලන අචාර ධර්ම ආරක්ෂා කිරීම ගැන විශ්වාසය තබා කටයුතු කරන පිරිසක්. මේ මුලපිරීම අනාගතයට තබන පියවරක් විතරක් නෙවෙයි. අපගේ පරිසරය සුරැකීමට, අපද්‍රව්‍ය අවම කිරීමට සහ අපගේ ගනුදෙනුකරුවන්ට වඩා හොඳින් සේවය කිරීමට දෙන පොරොන්දුවක්. අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සහ මානසික සාමයක් ලබා දෙන අතර, වඩාත් තිරසර අනාගතයක් කරා අපගේ ගමන ඉදිරියට ම යාම ගැන අපි සතුටු වෙනවා,” යනුවෙනි.

මෙම ක්‍රියාන්විතය සම්බන්ධයෙන් සතුට පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී/විශේෂ නිලධාරී රුමේෂ් මෝදරගේ සඳහන් කළේ, යූනියන් ඇෂුවරන්ස් අප ගන්නා ව්‍යාපාරික තීරණවලදී පාරිසරික සහ සමාජීය සාධක පිළිබඳව වැඩි වශයෙන් සලකා බලන බවය. “Go Green ක්‍රියාන්විතය වැළඳ ගැනීමෙන්, යූනියන් ඇෂුවරන්ස් සමාගම, ඉන් සිදුවන පාරිසරික බලපෑම අඩු කරනවා පමණක් නොව, කර්මාන්තය තුළ ප්‍රමිතිය මැනෙන මිනුම් දණ්ඩක් නිර්මාණය කරන සමාජීය වගකීම් සහ තිරසර ව්‍යාපාරික භාවිතයන් සඳහා වැඩෙන ඉල්ලුමට අනුකූල වනවා.”

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 ජූනි මස අවසන් වන විට රු. බිලියන 60.4 කි. ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්ම වර්ධනය කිරීමට සහ ජීවිත රැක ගැනීමට පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම ගැනීම සහ අධ්‍යාපනය ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.