Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන පැවැත්වූ මහජන අවධානය දිනා ගත් තරගයක් වන ‘Heart Day Step Challenge’ සාර්ථකව අවසන් කළේය. සැප්තැම්බර් 29 වන දිනට යෙදුණු ලෝක හදවත් දිනය සැමරීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම විසින් සංවිධානය කරන ලද මෙම තරගය මගින්, ශාරීරික ක්‍රියාකාරකම් දිරිමත් කිරීම පමණක් නොව හදවත් සෞඛ්‍යයේ බරපතළ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.

දින 15ක් පුරා පැවති මෙම තරගය සඳහා තරගකරුවන් 600කට අධික සංඛ්‍යාවකගේ උද්යෝගිමත් සහභාගීත්වයක් දක්නට ලැබිණි. තරගය පැවැත්වුණු කාලසීමාව තුළදී, යූනියන් ඇෂුවරන්ස් Clicklife ඇප් එක භාවිත කරමින්, එහි ‘Get Fit’ විශේෂාංගය හරහා ඔවුන්ගේ පියවර තැබීම් නිරීක්ෂණය කිරීම තරගකරුවන්ට පැවරී තිබිණි. මෙම වැඩිදියුණු කරන ලද විශේෂාංගයට ශාරීරික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා සවිස්තරාත්මක දත්ත පුවරුවක් සහ දෛනිකව ගන්නා ආහාර ප්‍රමාණය නිරීක්ෂණය කිරීම සඳහා කැලරි ගණකයක් ​​ඇතුළත් වේ. විශේෂයෙන්, එය AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ආහාර ඡායාරූප හඳුනා ගැනීමේ පද්ධතියක් ද ඇතුළත් කර ඇති අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ ආහාර වේලෙහි පින්තූර ග්‍රහණය කර ගැනීමට සහ එම ආහාරවල කැලරි ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව සලසයි. Clicklife යෙදුම හරහා, මූලික ශක්ති පරිවර්තන අනුපාතය (BMR) ගණනය කිරීම සඳහා පුළුල් ලෙස පිළිගත් Mifflin-St Jeor සමීකරණය මත පදනම්ව, අදාළ යෙදුම භාවිත කරන්නන්ට බර අඩු කර ගැනීම හෝ නඩත්තු කිරීම සඳහා පෞද්ගලික යෝග්‍යතා සැලසුම් සකස් කර ගත හැකිය. මෙම විශේෂාංග සියල්ල මගින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීමට සහ සමස්ත යහ පැවැත්ම වැඩිදියුණු කර ගැනීමට පාරිභෝගිකයින් සවිබල ගන්වයි.

ජයග්‍රාහකයින්ට Clicklife යෙදුමේ පූර්ණ ස්වයංක්‍රීය ඩිජිටල් තිලිණ පද්ධතිය හරහා ඩිජිටල් තිලිණ පත් (digital vouchers) පිරිනැමේ. මෙම තිලිණ පත් භාවිත කරමින් පුළුල් පරාසයක විහිදුණු ආකර්ෂණීය ප්‍රතිලාභ සහ අත්දැකීම් හිමි කර දෙන 85කට අධික හවුල්කාර ව්‍යාපාරික ආයතන සමග ගනුදෙනු කළ හැකිය.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 18.0ක් වන අතර ජීවිත අරමුදල 2023 මාර්තු අවසන් වන විට රු. බිලියන 60.4කි. සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා සූදානමින් සිටින යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාමික ජීවිතය සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.