Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ‘ප්‍රිමියර් ක්ලබ්’ වැඩසටහනේ සාමාජිකයන්ගේ සාර්ථකත්වය පසුගියදා යළිත් වරක් ඇගයීමට ලක්විය. ප්‍රිමියර් ක්ලබ් යනු යූනියන් ඇෂුවරන්ස් සමාගමේ රක්ෂණ උපදේශකවරුන් වෙනුවෙන් හඳුන්වා දී ඇති, රක්ෂණ ක්ෂේත්‍රයේ එම කාණ්ඩයේ විශිෂ්ටතම වැඩසටහනක් ලෙස සැලකෙන, ඇගයීම් හා ත්‍යාග වැඩසටහනකි.

විකිණුම් හා පාරිභෝගික සේවා කටයුතු වලදී ඉහළම මට්ටමේ දක්ෂතා පෙන්නුම් කරන රක්ෂණ උපදේශකවරුන්ට යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් හි සාමාජිකත්වය හිමි වේ. සෑම කාර්තුවකදීම මෙබඳු දක්ෂතා ඇගයීමට ලක්වන අතර, මෙය විශිෂ්ටත්වය කරා යාමට අනෙකුත් උපදේශකවරුන්ද දිරිගන්වන සාධකයකි.

මෙම වසරේ තුන්වන කාර්තුවේදී මෙම වැඩසටහන යටතේ රක්ෂණ උපදේශකවරු 45 දෙනෙක් ඇගයීමට ලක්වූහ. ඔවුන්ට සුඛෝපභෝගී මෝටර් රථ, මුදල් ත්‍යාග සහ ව්‍යාපාර සංවර්ධන අවස්ථා ඇතුළු ඇගයීම් රැසක් හිමි විය.

“අපගේ අරමුණ වන්නේ සෑම විටම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමයි. එවැනි සේවාවක් ලබාදීම සඳහා අපගේ උපදේශකවරුන් දිරිගන්වමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට අප යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් වැඩසටහන හඳුන්වා දුන්නා. වෘත්තීයභාවය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයට ආදර්ශයක් වෙමින් ඔවුන් දක්වන මේ දක්ෂතා අපට ආඩම්බරයක්.” ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

“ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම සඳහා දැක්වූ උනන්දුව හා කැපවීම සහ, ඒ තුළින් අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් අපගේ රක්ෂණ උපදේශකවරුන් ඇගයීමට ලක්ක්රීම යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් වැඩසටහනේ ඉලක්කයයි. සෑම කාර්තුවකදීම මෙම වැඩසටහනේ සාමාජිකයන් සංඛ්‍යාව ඉහළ යාම අපට මහත් සතුටක්. මෙය යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ යමින් පවතින බවට නිසැක සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම අපගේ උපදේශකවරුන්ට නිරන්තරයෙන් පුහුණු හා සංවර්ධන අවස්ථා ලබාදීමටත් අප කටයුතු කරනවා. එමගින් ඔවුන්ට තම හැකියාවන් වැඩිදියුණු කරගනිමින් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීමටත්, ක්ෂේත්‍රය තුළ වෘත්තීය වශයෙන් ඉදිරියට යාමටත් පුළුවන්.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන අතර, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 සැප්තැම්බර් මාසය වන විට රු. බිලියන 16.6 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු. බිලියන 54.7 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 3,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.