Preloader images
Preloader icon

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන, යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගම විශ්වවිද්‍යාල සිසුන්ගේ රැකියා අපේක්ෂාවන් ඉහළ නැංවීමට ත්, ඔවුන්ට සාර්ථක වෘත්තීය ගමනක් කරා ලඟාවීම උදෙසා අවැසි කුසලතා ඔප්නැංවීමෙහි දූරදර්ශි පියවරක් ලෙස ත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනා සිටින NSBM හරිත විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට වඩා වැඩි ප්‍රතිලාභ උත්පාදනය කෙරෙන අතරම තරුණ පරපුරට අනාගතයේදී සාර්ථක වීමට අවශ්‍ය දැනුමෙන් සහ විශේෂඥතාවයෙන් සන්නද්ධ කිරීමට ද එය සාර්ථක අත්වැලක් වනු ඇත.
මෙම අවබෝධතා ගිවිසුම NSBM විශ්වවිද්‍යාලයෙහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ සහ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉමිතියාස් අනිෆ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි 25 වැනි දින අත්සන් තබා ඇත. මේ තුළින් සිසුන්ගේ අධ්‍යයන දැනුම, ආයතනික ප්‍රවීණත්වය සමඟ ඒකාබද්ධ කිරීමෙන් සිසුන්ට ප්‍රයෝජනවත් වන සහයෝගීතා ක්‍රියාකාරකම් මාලාවක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ඇත. යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රතිඥාවට අනුකූලව මෙම මුලපිරීම තුළින් ශ්‍රී ලාංකීය සිහිනය සවිබල ගැන්වීම සඳහා අඩිතාලම සැලසේ.

යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉම්තියාස් අනිෆ් මහතා මෙම ගිවිසුම, තරුණයින්ගේ වෘත්තීය අපේක්ෂාවන් ඉහළ නැංවීමේ සන්ධිස්ථානයක් ලෙස විස්තර කළේය. NSBM විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා තම සමාගම සිය ආයතනික විශේෂඥතාව බෙදාහදා ගන්නා බව ඔහු පැවසීය. “මෙමගින් සිසුන් රැකියා සඳහා සූදානම් වන බවත්, ඔවුන්ට රැකියා අවස්ථා විවර වනු ඇති බවත් අපට විශ්වාසයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

අනිෆ් මහතාට අනුව, යුනියන් ඇෂුවරන්ස් හි බහු-පුහුණු කණ්ඩායම තුළින් NSBM විශ්වවිද්‍යාලය වෙත පිරිනැමීමට බොහෝ දේ ඇත. රක්ෂණ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු ලෙස සමාගම සතු අද්වීතීය දැනුම් පරාසය තුළින් සිසුන්ට මෙන්ම සියළු විශ්වවිද්‍යාලීය පීඨ සාමාජිකයින්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය. “අපි සිසුන්ගේ වෘත්තීය සාර්ථකත්වය සහතික කරමින් එහි උපාධි වැඩසටහන් විෂයමාලා සංවර්ධනය සඳහා ආයතනික දැනුම NSBM සමඟ බෙදාහදා ගනිමින් එහි වර්ධනයට දායක වන්නෙමු,” ඔහු අවධාරණය කළේය.

NSBM විශ්වවිද්‍යාලයෙහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා, මෙම අවබෝධතා ගිවිසුම අනාගත රැකියා සඳහා නව මංපෙත් විවර කරන බව සඳහන් කළේය. අධ්‍යාපනික ආයතන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නිපුණයන් අතර ගොඩ නැඟෙන සහයෝගීතාවය මත ජනනය වන අධ්‍යයන වැඩසටහන්වල ප්‍රායෝගික අංශ වැඩිදියුණු කිරීමට ඇති ඉඩ ප්‍රස්තුතය ඉහළ බවත් ඒවා වඩාත් රැකියා වෙළඳ පොලට උචිත වන බවත් ඔහු පැවසීය.

මහාචාර්ය වීරසිංහ මහතාට අනුව, මෙම ගිවිසුම මඟින් සිසුන්ට සීමාවාසික සහ අභ්‍යාසලාභීන් ලෙස කටයුතු කිරීමට හැකියාව සලසන අතරම, ඉහළ දස්කම් දක්වන සිසුන්ට වෘත්තීය අවස්ථා පිරිනැමීමට කටයුතු කරනු ලැබේ. “එමගින් ඔවුන්ට වටිනා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට හැකි වනු ඇත,” ඔහු පැවසීය.

මෙම අවබෝධතා ගිවිසුම යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමාගම සහ NSBM විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාවයේ සන්ධිස්ථානයකි. යුනියන් ඇෂුවරන්ස් යනු මෙරට ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන අතර කීර්තිමත් සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ ද එක් කොටසකි. NSBM හරිත විශ්ව විද්‍යාලය ඉහළ මට්ටමේ පහසුකම් සහිතව, කීර්තිමත් කථිකාචාර්ය මණ්ඩලයක් සහ ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ විද්‍යාව පිළිබඳ උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් මාලාවන් සපයන කීර්තිමත් විශ්වවිද්‍යාලයකි.

යුනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ රක්‍ෂණ සමාගම් අතර වන අතර, දශක තුනක සාර්ථකත්වයක් සම්පූර්ණ කරමින් 2022 මාර්තු වන විට රු. බිලියන 17.9 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත. යුනියන් ඇෂුවරන්ස් ආයතනය විසින් ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව සහ විශ්‍රාම අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්‍ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික ශ්‍රම බලකායක් සමඟින්, සමාගම අඛණ්ඩව වසර නවයක් සඳහා සේවය කිරීමට යෝග්‍ය ස්ථානයක් ලෙසින් සම්මානයට පාත්‍ර වී ඇත. යුනියන් ඇෂුවරන්ස් 2021 දී ශ්‍රී ලංකාවේ MDRT ජයග්‍රාහකයන් විශාල ප්‍රමාණයක් බිහිකල අංක එකේ ජීවිත රක්‍ෂණ සමාගම බවට පත් වූ අතරම රක්ෂණ ක්‍ෂේත්‍රයේ නැගී එන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමටද කටයුතු කරනු ලැබේ.