Preloader images
Preloader icon

පෙරළිකාර පියවරක් ලෙස, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන යූනියන් ඇෂුවරන්ස් විසින් ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය (underwriting process) විධිමත් කිරීම සඳහා මූල්‍ය ප්‍රශ්නාවලිය අගැයීමේ ස්වයංක්‍රීය ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ලැබ තිබේ. එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතා නිශ්චිතව ම සපුරාලන පරිදි සකස් කරන ලද ආවරණයක් පිරිනැමීම සඳහා පාරිභෝගිකයාගේ මූල්‍ය පසුබිම සහ ඒ ආශ්‍රිත අවදානම් තක්සේරු කිරීමේදී ස්වයංක්‍රීය මෘදුකාංගමය තාක්ෂණය භාවිත කිරීම මෙම අතිනවීන තාක්ෂණික මුලපිරීමට අයත් වේ.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ප්‍රතිරක්‍ෂණ සමාගමක් වන Munich Re සමග එක්ව දියත් කරන ලද මෙම නව්‍ය මුලපිරීම, සමස්ත ජීවිත රක්‍ෂණ අත්දැකීම ඉහළ නැංවීම සඳහා උසස් තාක්‍ෂණය භාවිත කිරීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. මෙම නව්‍ය හඳුන්වා දීම මගින්, ජීවිත රක්ෂණ සමාගමක් සමග එවැනි හවුල්කාරීත්වයකට මුලපිරූ Munich Re සමාගමේ පළමු අවස්ථාව ද සනිටුහන් වන අතර, ඒ මගින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පුරෝගාමී ආකල්පමය ස්වභාවය ද කැපී පෙනේ.

යූනියන් ඇෂුවරන්ස් හඳුන්වා දෙන මූල්‍ය ප්‍රශ්නාවලියේ ස්වයංක්‍රීය අගැයීම තුළින් ප්‍රාරක්ෂණයේ භූ සැලැස්ම නැවත අර්ථ දැක්වීම, කාර්යක්ෂමතාව, නිරවද්‍යතාව සහ පාරිභෝගික කේන්ද්‍රීයත්වය සඳහා නව ප්‍රමිතීන් සැකසීම අපේක්ෂිතය. ස්වයංක්‍රීය තාක්ෂණය භාවිත කිරීම මගින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිලාභ සඳහා සුවිශේෂී රක්‍ෂණ සේවා සැපයීමට සහ තාක්‍ෂණික විසඳුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඇති කැපවීම යළි තහවුරු කරයි.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් පැවසුවේ, ප්‍රාරක්ෂණ විෂයෙහි ස්වයංක්‍රීය තාක්ෂණය භාවිත කිරීම රක්ෂණ ක්ෂේත්‍රය උඩු-යටිකුරු කරනසුලු නව භාවිතාවක් බවය. මෙම උපායමාර්ගික මුලපිරීමේදී Munich Re වැනි කීර්තිමත් ප්‍රතිරක්ෂණ සමාගමක් සමග හවුල්කරුවෙකු වීමට ලැබීම ගැන සමාගම ආඩම්බර වන බව ද ඔහු අවධාරණය කළේය. “නවීන යුගයේ රක්ෂණ අත්දැකීමක් සලකුණු කරන අතර ම, එය ශ්‍රී ලාංකේය සිහිනය සවිබල ගැන්වීමේ අපගේ මෙහෙවරේ සන්ධිස්ථානයක් ද සනිටුහන් කරනවා. සාම්ප්‍රදායිකව ගත් විට ප්‍රාරක්‍ෂණය කියන්නේ අතින් කළ යුතු, කාලය ගත වන, දුෂ්කර ක්‍රියාවලියක්. ඒත්, ස්වයංක්‍රීයකරණය හරහා එහි ප්‍රධාන වාසි ලබා දෙමින් ඒ සමස්ත ක්‍රියාවලිය ම පරිවර්තනයකට ලක් වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී සහ විශේෂිත නිලධාරී රුමේෂ් මෝදරගේ පැවසුවේ, ස්වයංක්‍රීය ප්‍රාරක්ෂණය මගින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක් වනු ඇති බවය. ලෙහෙසිය, පහසුව සහ බාධාවකින් තොරබව යන කරුණු සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති බැවින් එය පාරිභෝගිකයින්ට වඩා හොඳ ප්‍රාරක්ෂණ සේවා ලබා දෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය. “මෙම ක්‍රියාන්විතය හරහා සමාගම තුළ මූල්‍ය ප්‍රාරක්ෂණ ක්‍රියාවලියෙන් 90% කට වඩා ස්වයංක්‍රීය වනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් ඒකකයේ කාර්යක්ෂමතාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති,” ඔහු පැවසීය.

Munich Re සමාගමේ ඉන්දීය ශාඛාවේ පාරිභෝගික කළමනාකාරණ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී දීපා බන්දාල් මෙම නව්‍ය ක්‍රියාන්විතය සම්බන්ධයෙන් සිය උද්‍යෝගය පළ කරමින් ප්‍රකාශ කළේ, “යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සවයංක්‍රීයකරණය සම්බන්ධ ඔවුන්ගේ අලුත් ගමනේ කොටස්කරුවෙකු වීම ගැන Munich Re සමාගමට ආඩම්බරයක්. මෙම උත්සහයන් මගින් අවදානම් කළමනාකරණයේ විචක්ෂණශීලීත්වය දියුණු වීම සහ නව පාරිභෝගිකයින් බඳවා ගැනීම පහසුවීම සිදුවනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි මෙම සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර ඉදිරි අනාගතයේදී ද අපගේ ඩිජිටල් දැනුම භාවිත කරමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමට සහය වීමට වෙහෙසෙන්නෙමු,” යනුවෙනි.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 19.4ක් වන අතර ජීවිත අරමුදල 2023 මාර්තු අවසන් වන විට රු. බිලියන 57.7 කි. ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව සහ විශ්‍රාම අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.