Preloader images
Preloader icon

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වරට, ජීවිත රක්ෂණ පිළිබඳව දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් බ්ලොග් නිර්මාණ තරඟයක් සංවිධානය කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. සැප්තැම්බර් මාසය ‘ජීවිත රක්ෂණ පිළිබඳව දැනුවත් කිරීමේ මාසය’ ලෙස සැලකෙන අතර, ඒ වෙනුවෙන් 2022 සැප්තැම්බර් 01 දින සිට ‘BLOG IT’ නමින් මෙම තරඟය දියත් කර ඇත. මේ සඳහා 2022 සැප්තැම්බර් 25 දින තෙක් නිර්මාණ භාරගැනෙන අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නිර්මාණකරුවන්ට https://lnkd.in/gxFCcH2R වෙත පිවිසී තම නිර්මාණ ඉදිරිපත් කළ හැකි වේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රු. 180,000 ක වටිනාකමකින් යුත් මූල්‍යමය ත්‍යාග පිරිනැමීමටත්, ඔවුන්ගේ නිර්මාණ තම වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය පිටු වල පළකිරීමටත් යූනියන් ඇෂුවරන්ස් සමාගම කටයුතු කරනු ඇත.

යූනියන් ඇෂුවරන්ස් යනු ජනතාවගේ සිහින සැබෑ කිරීම අරමුණු කරගත් සේවාවන් පිරිනමන රක්ෂණ සමාගමක් වන අතර, BLOG IT තරඟය මෙම අරමුණ සැබෑ කරගැනීමේ උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජීවිත රක්ෂණයේ වැදගත්කම පිළිබඳව අවබෝධ කරගෙන, එය නිර්මාණශීලී ලෙස ඉදිරිපත් කිරීමට අවකාශ සලසා දීම සඳහා මෙම තරඟය සැලසුම් කර තිබේ. නිර්මාණකරුවන්ට තම නිර්මාණ රචනා, පද්‍ය හෝ කෙටිකථා ලෙස ඉදිරිපත් කළ හැකි අතර, එම නිර්මාණ වල අදහස්, නිර්මාණශීලීත්වය සහ ගුණාත්මකභාවය යනාදී සාධක අනුව, ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගනු ලබනු ඇත.

“ජීවිත රක්‍ෂණ පිළිබඳ දැනුවත් කිරීමේ මාසය යනු, නිරෝගී ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය මූල්‍යමය සුරක්ෂිතතාව තහවූරු කරගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් ගෝලීය වැඩසටහනක්. මෙම වසරේදී ඒ වෙනුවෙන් තම නිර්මාණශීලී අදහස් ඉදිරිපත් කිරීම සඳහා දක්ෂ තරුණ නිර්මාණකරුවන්ට අවස්ථාව සලසා දීමට BLOG IT තරඟය සංවිධානය කිරීමට අප තීරණය කළා. මෙවැනි තරඟයක් මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ සංවිධානය කරනු ලබන්නේ ප්‍රථම වතාවටයි. මේ ආකාරයට තරුණ නිර්මාණකරුවන්ට විශේෂ අරමුණක් ඔස්සේ තම නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් සපයා දීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. එමෙන්ම තරඟයට ඉදිරිපත් වන සියලුම දෙනාට මාගේ සුබපැතුම් සහ ස්තූතිය පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න මහතා පැවසී ය.

මේ වනවිට පවතින අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදීමට ශ්‍රී ලංකාව මහත් වූ පරිශ්‍රමයක් දරමින් සිටින මේ මොහොතේ, රටේ ජනතාවට සහ පවුල් වලට මෙම අර්බුදයට සාර්ථක ලෙස මුහුණ දීමට අවශ්‍ය මූල්‍ය සාක්ෂරතාව ලබාදීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සමාගම කැපවී සිටී. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසය තුළ BLOG IT තරඟයට අමතරව තවත් නිර්මාණශීලී වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට සමාගම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2022 ජූනි මාසය වන විට රු. බිලියන 15.7 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීයකරණයක් අත්පත් කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සහිත එම සමාගම, ‘සේවය කිරීමට වඩාත්ම යෝග්‍ය ස්ථානයක්’ වශයෙන් අඛණ්ඩව වසර නවයක් පුරා ‘Great Place to Work©’ ඇගයීමට පාත්‍ර වී ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම 2021 වසරේදී ශ්‍රී ලංකාවේ වැඩිම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් බිහිකළ ජීවිත රක්ෂණ සමාගම බවට පත් වූ අතර, රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.