Preloader images
Preloader icon

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ 2021 වාර්ෂික සම්මාන උළෙල 2022 මැයි 08 වන දින ‘Monarch Imperial’ හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ‘Crowning Excellence’ යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙලේදී, 2021 වසර තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ විශාල පිරිසක් සම්මානයෙන් පිදුම් ලැබූහ. මෙම අවස්ථාවට ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්ද එක්වූහ.

මෙවර සම්මාන උළෙලේදී 670 කට අධික පිරිසක් ඇගයීමට ලක් වූ අතර, එය යූනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන ඉතිහාසයේ එක් සම්මාන උළෙලකදී වැඩිම පිරිසක් ඇගයීමට ලක් වූ අවස්ථාව බවට පත් විය. සමාගමේ දීපව්‍යාප්ත රක්ෂණ නියෝජිත ජාලයේ රක්ෂණ උපදේශකවරුන්, කණ්ඩායම් නායකයන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ කලාපීය කළමනාකරුවන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබූහ.

කලාප හා ප්‍රාදේශික මට්ටමින් විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමට අමතරව, විශිෂ්ටයන් අතර විශිෂ්ටයා වූ (Ultimate Champion) කැලුම් ජයසිංහ සහ ‘Top of the Table Club’ සුදුසුකම්ලාභී චානක අප්පුහාමි වෙත මර්සිඩීස් බෙන්ස් රථ පිරිනැමීම මෙම සම්මාන උළෙලේ විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දක්වමින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා කියා සිටියේ, 2021 වැනි අභියෝග බහුල වූ කාලසීමාවක මෙවැනි ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වීම විශේෂයෙන් අගය කළ යුතු බවයි. දළ වාරික ආදායම, ලාභය සහ ආදායම ඇතුළු සියලුම අංශ වල වර්ධනයක් සනිටුහන් කිරීමට සමාගම සමත් වූ බවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ ජීවිත රක්ෂණ සමාගම් අතර වැඩිම නව ව්‍යාපාර වර්ධනය වාර්තා කළ යූනියන් ඇෂුවරන්ස් සමාගම, ක්ෂේත්‍රයේ නව ව්‍යාපාර වර්ධනය අතින් දෙවැනි විශාලතම සමාගම බවටද පත් විය. එමෙන්ම සමාගමෙන් ‘Million Dollar Round Table’ (MDRT) සුදුසුකම්ලාභීන් 300 ක් වාර්තා වූ අතර, ශ්‍රී ලංකාවේ රක්ෂණ ඉතිහාසය තුළ සමාගමක් එක් වසරකදී වාර්තා කළ වැඩිම MDRT සුදුසුකම් ලාභීන් සංඛ්‍යාව එයයි.

“තාක්ෂණය මුල්කරගත් ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීම නිසා, වේගවත් ඩිජිටල් පරිවර්තනයක් ඔස්සේ අනාගතට ශක්තිමත්ව පියනගන සමාගමක් බවට පත්වීමට අපට හැකි වී තිබෙනවා. ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ඩිජිටල් අත්දැකීමක් ලබාදෙන Clicklife app ඔස්සේ ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට අපට හැකි වුණා. 2022 වසරේදීත් කෙතරම් අභියෝග එල්ල වුවත් අපට මෙය සාර්ථක වසරක් බවට පත්කර ගැනීමට හැකිවන බව මට විශ්වාසයි.” ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය.

‘Health 360’ යනු යූනියන් ඇෂුවරන්ස් සමාගමේ තවත් පුරෝගාමී හඳුන්වා දීමකි. රෝග රාශියක් ආවරණය කරන මෙම රක්ෂණ විසඳුම, රක්ෂණ හිමියන්ට නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවිත ගතකිරීමට මහෝපකාරී වේ.

“මේ විශිෂ්ට ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කණ්ඩායමේ සියලුම දෙනාට මගේ ස්තූතිය හිමිවනවා. වෘත්තීයභාවය, උනන්දුව හා කැපවීම වැනි ගුණාංග නිසා ඔවුන්ට මේ ජයග්‍රහණයන් වාර්තා කිරීමට හැකි වුණා. 2021 වසරේදී කොපමණ අභියෝග වලට මුහුණ දීමට සිදු වුවත් ඒවා ජයගනිමින්, සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක්ම පසුකර යාමට හැකි වුණේ මේ විශිෂ්ටයන්ගේ නොපසුබට උත්සාහය නිසයි. මේ කණ්ඩායම මට මහත් ආඩම්බරයක්. 2022 වසරේදී ඔවුන් මීටත් වඩා ඉහළ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

2021 වසරේදී, මෙරට රක්ෂණ ක්ෂේත්‍ර ඉතිහාසයේ සමාගමක් එක් වසරකදී වාර්තා කළ වැඩිම MDRT සාමාජිකයන් සංඛ්‍යාව වාර්තා කිරීම ඇතුළු කැපීපෙනෙන ජයග්‍රහණ කිහිපයක්ම සනිටුහන් කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි.
සම්මාන උළෙල රසගැන්වීම සඳහා විශේෂාංග රැසක් ඇතුළත් කර තිබුණු අතර, ජනප්‍රිය කලාකාරිනියන් වන උමාරියා සිංහවංශ සහ ශනුද්‍රි ප්‍රියසාද් ද ඊට එක්වූහ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.7 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ රු. බිලියන 58.5 ක ආයෝජන එකතුවක් වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.