Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස සැලකෙන යුනියන් ඇෂුවරන්ස්, තම බැංකු රක්ෂණ සේවා කාර්ය මණ්ඩලය ඇගයීම සඳහා ‘Circle of Excellence’ නමින් විශේෂ ත්‍යාග වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සුවිශේෂීම බැංකු රක්ෂණ සේවා ත්‍යාග වැඩසටහන් අතරින් එකක් වන මෙම වැඩසටහන යටතේ, යුනියන් ඇෂුවරන්ස් සමාගමේ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්, ප්‍රාදේශීය කළමනාකාරවරුන් සහ කලාපීය කළමනාකාරවරුන් ඇගයීමට ලක්වනු ඇත.

“යුනියන් ඇෂුවරන්ස් ‘Circle of Excellence’ දියත් කෙරුණේ අපගේ විකුණුම් කාර්ය මණ්ඩලයේ කැපවීම අගයමින් ඔවුන්ට ත්‍යාග පිරිනැමීමේ සහ, ක්ෂේත්‍රය තුළ ඔවුන්ට ඉහළ පිළිගැනීමක් ලබාදීමේ අරමුණ මුල්කරගෙනයි. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, එම අවශ්‍යතාවන්ට අනුව විශිෂ්ට සේවාවක් සැලසීමට නිරන්තරයෙන් උත්සාහ කරන අපගේ උද්යෝගීමත් හා පාරිභෝගික-කේන්ද්‍රීය විකුණුම් බලකාය තවදුරටත් දිරිගැන්වීමට අප මේ ඔස්සේ උත්සාහ කරනවා.” යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ධ්‍යා කුරේ මහත්මිය පැවසුවා ය.

යුනියන් ඇෂුවරන්ස් ‘Circle of Excellence’ වැඩසටහන යටතේ මුදල් හා අනෙකුත් ත්‍යාග, පුහුණු වැඩසටහන් හා සාමාජිකත්ව ප්‍රතිලාභ ඇතුළු ප්‍රතිලාභ රාශියක් පිරිනැමීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව, තම දක්ෂතා අනුව සුඛෝපභෝගී වාහන, විදේශ සංචාර, ජංගම දුරකථන බිල්පත් දීමනා, විශේෂ ‘Circle of Excellence’ භාණ්ඩ ඇතුළු තවත් ප්‍රතිලාභ රාශියක්ද හිමිකර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ බැංකු රක්ෂණ සේවා අංශය මේ වනවිට විශාල වර්ධනයක් අත්පත් කරගෙන ඇති අතර, සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබේ. එම අංශය දැනටමත් ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක් සමග අත්වැල් බැඳගෙන සිටින අතර, බැංකු ශාඛා 360 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරයි.

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් 5 අතරින්, නව රක්ෂණ වාරික අනුව, මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බවට පත්වීමට යුනියන් ඇෂුවරන්ස් සමත් වී ඇත. GWP අගය බිලියන 13 පසුකරමින් යුනියන් ඇෂුවරන්ස් සමාගම, RNBP මට්ටම අනුව ක්ෂේත්‍රයේ 4 වැනි විශාලතම සමාගම බවට පත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා 82 ක් විවෘත කර තිබේ. එම සමාගම 2021 ජූනි මාසය වන විට රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.