Preloader images
Preloader icon

යූනියන් ඇෂුවරන්ස් සමාගම ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් විශිෂ්ටතම සමාගම් 10 අතරට එක් වූ ප්‍රථම රක්ෂණ සමාගම බවට පත් වී තිබේ. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා’ (Transparency International Sri Lanka – TISL) ආයතනය තම 2022 වාර්තාව මගින් මෙම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත්කර ඇත. පසුගිය වසරේදී මෙම ශ්‍රේණිගත කිරීම් වල 16 වන ස්ථානයේ පසු වූ යූනියන් ඇෂුවරන්ස් සමාගම, මෙම වසරේදී 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබේ. මෙය යූනියන් ඇෂුවරන්ස් සමාගම ආයතනික තොරතුරු වාර්තාකරණයේදී විනිවිදභාවය සම්බන්ධ ප්‍රතිපත්ති දැඩිව අනුගමනය කරන බවට මනා සාක්ෂියකි.

මෙම වාර්තාව මගින්, කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වී ඇති ප්‍රමුඛතම සමාගම් 75 ක් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය පදනම් කරගෙන විශ්ලේෂණයට ලක්කර තිබේ. එය ආයතනික වාර්තාකරණ භාවිතයන් පිළිබඳ ස්වාධීන තක්සේරුවක් වන අතර, වංචාව හා දූෂණය වැළැක්වීමට සහ ඊට එරෙහිව පියවර ගැනීමට අදාළ තීරණාත්මක අංශ තුනක් මත පදනම්ව සමාගම් හා ආයතන ශ්‍රේණිගත කර ඇත. දූෂණ විරෝධී වැඩසටහන්, අදාළ සමාගමේ හිමිකාරීත්වයන් සම්බන්ධ විනිවිදභාවය සහ දේශීය මෙහෙයුම් පිළිබඳ ප්‍රධාන මූල්‍ය තොරතුරු වාර්තා කිරීම යන අංශ සම්බන්ධයෙන් මෙහිදී මූලික අවධානය යොමු වී තිබේ.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනී ආශා පෙරේරා මහත්මිය කියා සිටියේ, සමාගම ඉතා ශක්තිමත් ආයතනික වගවීම් සම්ප්‍රදායක් පවත්වාගෙන යන බවයි. එය සියලු පාර්ශ්වයන් තුළ විශ්වාසය තහවුරු කිරීමටත්, කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාර කටයුතු ආරක්ෂා කරගැනීමටත්, සන්නාමය තවදුරටත් වර්ධනය කරගැනීමටත් මහෝපකාරී වී ඇති බව ඇය පෙන්වා දුන්නා ය.

“සමාගම තුළ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා පැහැදිලි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනවා. ශක්තිමත් ආයතනික පාලන ව්‍යුහයක් පවතින නිසා දූෂණ වංචා ආදියට ඉඩක් නැහැ. තිරසාර වටිනාකම් නිර්මාණය කරන අනුකූලතා සංස්කෘතියක්, යහපත් අභ්‍යන්තර පාලනයක් සහ අවදානම් කළමනාකරණ යාන්ත්‍රණයක් අප සතුයි.” ආශා පෙරේරා මහත්මිය පැවසුවා ය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ සහකාර උප සභාපති (විගණන හා අනුකූලතා) රෙහාන් ඉස්මායිල් මහතා කියා සිටියේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය වෙතින් මෙම ඇගයීම හිමිවීම පිළිබඳව තමන් ආඩම්බර වන බවයි. “මෙය අපගේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. එමෙන්ම එය අපගේ වාර්තාකරණයේ විනිවිදභාවය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බවට පැහැදිලි සාක්ෂියක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. TISL වැනි කීර්තිමත් සංවිධානයක් විසින් සිදුකරන ලද මෙම තක්සේරුව මගින්, යුනියන් ඇෂුවරන්ස්හි පවතින වාර්තාකරණ ප්‍රතිපත්ති, පද්ධති සහ ක්‍රියාවලි වල ශක්තිමත්භාවය නැවත වරක් තහවුරු වී තිබෙනවා. අල්ලසට හා දූෂණයට අපගේ සමාගම තුළ කිසිදු ඉඩක් නැහැ. එමෙන්ම ජ්‍යෙෂ්ඨත්වය නොසලකා සියලුම සාමාජික සාමාජිකාවන්ට අදාළ වන පොදු ආචාරධර්ම පද්ධතියක්ද ආයතනය තුළ ක්‍රියාත්මක වෙනවා.” රෙහාන් ඉස්මායිල් මහතා වැඩිදුරටත් පැවසී ය.

යූනියන් ඇෂුවරන්ස් යනු මෙරට ඉහළම පිළිගැනීමක් හිමි සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගමකි. 2022 TISL වාර්තාව මගින් එම සමූහ ව්‍යාපාරය ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් අංක එක ලෙස නම්කර තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.7 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ රු. බිලියන 58.5 ක ආයෝජන එකතුවක් වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.