Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ ශක්තිමත් ජීවිත රක්‍ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, වසර ආරම්භයේදී අත්කර ගත් සාර්ථකත්වය මත පදනම්ව, අභිමානයෙන් යුතුව 2023 පළමු භාගයේ සිය සුවිශේෂී මූල්‍ය කාර්ය සාධනය නිවේදනය කරයි. ප්‍රධාන කාර්ය සාධන දර්ශක හරහා පිළිබිඹු වන සමාගමේ කැපී පෙනෙන වර්ධනය තුළින් එහි පාර්ශවකරුවන්ට වටිනාකමක් ලබා දීම සඳහා සමාගමේ ඇති නොසැලෙන කැපවීම අවධාරණය කරයි.

ක්ෂේත්‍රයේ සමස්ත වර්ධනය ලෙස සටහන් වන 9%ක ප්‍රතිශතය අභිබවා යමින් යූනියන් ඇෂුවරන්ස් 13% ක ලියා හළ දළ වාරික ආදායම් වර්ධනයක් හිමි කරගෙන තිබේ. මෙහිදී සාමාන්‍ය නව ව්‍යාපාර වාරික 14%කින්, අලුත් කිරීමේ වාරික 11%කින් සහ සමූහ ජීවිත රක්ෂණ වාරික 102%ක සුවිශේෂී ප්‍රතිශතයකින් වර්ධනය වී තිබේ. යූනියන් ඇෂුවරන්ස් 2023 වසරේ පළමු භාගයේදී තුන් වන විශාලතම සාමාන්‍ය නව ව්‍යාපාර රක්ෂණ සපයන්නා ලෙස සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය.

යූනියන් ඇෂුවරන්ස් 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 පළමු භාගය තුළ ආයෝජනාවලියෙහි 12% ක වර්ධනයක් ද වාර්තා කළේ ය. 2022 වසරේ එම කාලයට අනුරූපව 2023 වසරේ පළමු භාගයේදී ජනනය කරන ලද ඉහළ ආයෝජන ආදායම හේතුවෙන්, බදු ගෙවීමෙන් පසු ලාභය 2023 පළමු අර්ධය තුළදී 90% ක දැවැන්ත වර්ධනයක් අත්කරගෙන තිබේ.

යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයෙහි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ අතර, 2022 වසරේ දෙසැම්බර් මාසයේ පැවති 194%ක අනුපාතය සමග සැසඳීමේදී 2023 වසරේ පළමු අර්ධය අවසානයේදී එම වර්ධනය 337%ක ආකර්ෂණීය ප්‍රතිශතයකට ළඟා වී තිබේ. මෙය සමාගමේ කාර්යක්ෂම වත්කම් සහ වගකීම් කළමනාකරණය සහ වෙනස් වන පරිසරයන් තුළ වර්ධනය වීමට ඇති හැකියාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ විශ්වසනීය ජීවිත රක්‍ෂණ සමාගමක් ලෙස එහි ශක්තිමත් මූල්‍ය තත්ත්වය සවිබල ගන්වමින්, 2023 ජූනි මස අවසන් වන විට රු. බිලියන 60.4ක් වන ජීවිත රක්ෂණ අරමුදල සමගින් සමාගමේ මුළු වත්කම් රු. බිලියන 83.6ක් බවට පත්ව තිබේ. 2023 ජූනි මස අග වන විට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණය රු. බිලියන 18ක්ව පැවතිණි.

සමාගමේ මෑතකාලීන කාර්ය සාධනය පිළිබඳව උද්‍යෝගය පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් සඳහන් කළේ, “2023 වසරේ පළමු අර්ධයේදී අත්කර ගත් කැපීපෙනෙන වර්ධනය ඉමහත් සතුටින් වාර්තා කරන,” බව ය. “මේ ප්‍රතිඵලවලින් පිළිබිඹු වෙන්නේ, අපේ කණ්ඩායමේ කැපවීම, අපගේ වටිනා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ අපගේ උපාය මාර්ගික මුලපිරීම්වල ඵලදායීතාවයි.”

යූනියන් ඇෂුවරන්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක පැවසුවේ, “මේ කැපී පෙනෙන ප්‍රතිඵලවලින් යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රගතිය සඳහා ඇති කැපවීම වගේ ම මූල්‍ය ස්ථාවරත්වය පිළිබිඹු වෙනවා. නිතැතින්ම, අපේ ගනුදෙනුකරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට දායක වෙන නව්‍ය සහ විශ්වසනීය ජීවිත රක්ෂණ විසඳුම් ලබා දීමට සමාගම කැපවී සිටිනවා.”

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. එම සමාගම සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර තිබේ. සියළුම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට බැඳී සිටින, යූනියන් ඇෂුවරන්ස් සමාගම සියළුම ප්‍රජාවන් වෙත ආරක්ෂාව, සෞඛ්‍යය, විශ්‍රාම සැලසුම්, අධ්‍යාපනය සහ ආයෝජන අවශ්‍යතා සපුරාලන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.