Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ රක්ෂණ සහ තක්සේරු අධ්‍යයන අංශය, 2024 ජනවාරි 22 වන දින අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබමින් සිය සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් ප්‍රකාශයට පත් කරන ලදී.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී ඉම්තියාස් අනිෆ් සහ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ, ඔවුන්ගේ ආයතන නියෝජනය කරමින් ශක්තිමත් හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයක දී මෙම අවබෝධතා ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබූහ.

මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීමක් සහ පළපුරුද්දක් ලබා දෙමින් උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් සාර්ථක වේදිකාවක් නිර්මාණය කිරීම ය. මෙම හවුල්කාරිත්වය හරහා, ශාස්ත්‍රීය විෂය මාලා සමග ගැළපෙන සීමාවාසික පුහුණුවක් ලබා දීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම ක්‍රියා කරන අතර, උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ න්‍යායික දැනුම වෘත්තීය පසුබිමක් තුළ භාවිත කිරීම සඳහා අවශ්‍ය අවබෝධය සහ අවස්ථා පිරිනමයි.

මෙම සහයෝගීතාව පිළිබඳව සිය උද්‍යෝගය පළ කරමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පිරිස් නිලධාරී ඉම්තියාස් අනිෆ් සඳහන් කළේ, “ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ තරුණ තරුණියන්ගේ අනාගතය හැඩගැස්වීමට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අත්වැල් බැඳ ගැනීම පිළිබඳව අපි සිටින්නේ ඉමහත් සතුටින්. මේ සහයෝගීතාව, ක්ෂේත්‍රයේ ඊළඟ පරම්පරාවේ නායකයින් පෝෂණය කිරීමටත්, ඔවුන්ට සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුසලතා සහ අත්දැකීම් ලබා දීමටත් අප තුළ ඇති කැපවීම තවත් ශක්තිමත් කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්,” යනුවෙනි.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ද මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “යූනියන් ඇෂුවරන්ස් සමාගම සමග ඇති කර ගත් මෙම සහයෝගීතාව තුළින් අපගේ උපාධි අපේක්ෂකයින්ට ප්‍රායෝගික අවස්ථා ලබා දෙන අතර, ඔවුන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීම සඳහා නව මංපෙත් විවර වන,” බව ය. “එවැනි හවුල්කාරිත්වයන් හරහා ශාස්ත්‍රීය ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර ඇති පරතරය පියවීමට අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරන්නෙමු,” ඔහු සඳහන් කළේ ය.

යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක කාලයක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය 2023 සැප්තැම්බර් අවසන් වන විට රු. බිලියන 23.9ක් වූ අතර ජීවිත අරමුදල රු. බිලියන 63.9කි. ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය, ආයෝජන, ආරක්ෂාව, විශ්‍රාම සැලසුම් සහ අධ්‍යාපන යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික සේවක බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස් සමාගම, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගත් ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.