Preloader images
Preloader icon

ශ්‍රී ලංකාවේ බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමේ පියවරක් වශයෙන්, යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ යූනියන් බැංකුව අතර හවුල්කාරීත්වය තවත් වසර 7 කින් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය පසුගියදා කටයුතු කළේ ය. මේ සඳහා වන ගිවිසුමට 2022 මැයි 19 දින අත්සන් තබන ලදි.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා සහ යූනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, මෙම අවස්ථාවට යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ද්‍යා කුරේ, යූනියන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ) ඡායා ජයවර්ධන, එම බැංකුවේ උප සභාපති (පාරිභෝගික වගකීම් සහ විකල්ප නාලිකා) මනීෂා ප්‍රනාන්දු සහ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නාලිකා ප්‍රධානී චාමර නදීශාන්ත යන මහත්ම මහත්මීහුද එක්වූහ.

යූනියන් ඇෂුවරන්ස් සහ යූනියන් බැංකුව අතර දීර්ඝකාලීන හවුල්කාරීත්වයෙන් මේ වනවිට බැංකු රක්ෂණ සේවා ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රාශියක් අත්වී තිබේ. 2016 වසරේදී ආරම්භ වූ මෙම හවුල්කාරීත්වය 2018 වසරේදී දෙපාර්ශ්වයට විශේෂ වූ හවුල්කාරීත්වයක් බවට පත් විය.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා කියා සිටියේ, මෙම හවුල්කාරීත්වය අලුත් කිරීම දෙපාර්ශ්වයටම අතිශයින් වැදගත් පියවරක් බවයි. එමගින් දිගින් දිගටම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම රක්ෂණ විසඳුම් සමග විශිෂ්ටතම සේවාවක්ද ලබාදීමට හැකිවන බව ඒ මහතා පැවසී ය.

“මෙය රටේ බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කරන පියවරක්ද වේවි. ශ්‍රී ලාංකිකයන් අතරින් තවමත් රක්ෂණ මිලදීගෙන තිබෙන්නේ සුළු පිරිසක් පමණයි. මෙවැනි පියවර ඔස්සේ වැඩි පිරිසක් වෙත රක්ෂණ සේවාවන් සමීප කරමින්, ශ්‍රී ලාංකික සිහිනය සවිබල ගැන්වීමට අපට හැකියාව ලැබේවි.” ජූඩ් ගෝම්ස් මහතා පැවසී ය. ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ ඩිජිටල් පහසුව යනු බැංකු රක්ෂණ ක්ෂේත්‍රයේ අනිවාර්ය අංගයන් බවයි.

බැංකු රක්ෂණ සේවා ක්ෂේත්‍රය යනු වේගයෙන් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයක් බවත්, එය බැංකුවක් මගින් ලබාදෙන සේවාවන්හි වටිනාකම වැඩි කරන අතරම, මෙවැනි අවිනිශ්චිත කාලසීමාවන් වලදී දීර්ඝකාලීන රැකවරණයක් සමගින් ගනුදෙනුකරුවන් තුළ සුරක්ෂිත හැඟීමක් ජනිත කරවීමට මහෝපකාරී වන බවත්, යූනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්ද්‍රජිත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.
මේ අතර යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බැංකු රක්ෂණ නිලධාරිනී වින්ද්‍යා කුරේ මහත්මිය කියා සිටියේ, දෙපාර්ශ්වය අතර හවුල්කාරීත්වය ඉදිරියේදී තවතවත් ශක්තිමත් වනු ඇති බවයි. “මේ හවුල්කාරීත්වය මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු රක්ෂණ හවුල්කාරීත්වයක් බවට පත් වී තිබෙනවා. රැකවරණය හා ආයෝජනය එක්තැන් කරන නවෝත්පාදන විසඳුම් සමග විශේෂඥභාවය සහ නිසි මගපෙන්වීමක් ඔස්සේ දිගින් දිගටම ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීමට අප සූදානම්.” වින්ද්‍යා කුරේ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

යූනියන් ඇෂුවරන්ස් සමාගම සහ යූනියන් බැංකුව අතර පවතින මෙම හවුල්කාරීත්වය දෙපාර්ශ්වයේම සේවාවන්ගේ අගය වැඩි කරන අතරම, සමාගම් දෙකටම වඩාත් තිරසාර දියුණුවකට අවස්ථාවන් උදාකර දී තිබේ. එමෙන්ම මෙය බැංකු සේවා අවශ්‍යතා සපුරා ගන්නා අතරම එකම වහලක් යටදී නව්‍යකරණය මුල්කරගත් ජීවිත රක්ෂණ විසඳුම් මිලදී ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දෙයි.

යූනියන් බැංකුව යනු ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම ප්‍රාග්ධනීකරණය වූ බැංකු අතරින් එකකි. වසර 25 කට වැඩි ඉතිහාසයක් සහිත එයට ගෝලීය ආයෝජන සමාගමක් වන TPG හි පිටුබලයද හිමි වී තිබේ. ශක්තිමත් පදනම, මූල්‍ය ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර තලයේ විශේෂඥ දැනුම සමගින් යූනියන් බැංකුව මෙරට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමාගම් හා ආයතන වලටද බැංකු සේවාවන් පිරිනමයි. යූනියන් බැංකුව හා එහි සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු, පැය 24 පුරා ක්‍රියාත්මක 0115 800 800 ක්ෂණික ඇමතුම් අංකයෙන් සහ www.unionb.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පිරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ. එම සමාගම 2022 මාර්තු මාසය වන විට රු. බිලියන 17.9 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.7 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ රු. බිලියන 58.5 ක ආයෝජන එකතුවක් වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.